මන්නාරම සමූහ මිනී වළෙන් සාම්පල ලබා ගැනීම ඇරඹේ

කාල නීර්ණය සඳහා මන්නාරම සමූහ මිනී වළෙන් සාම්පල ලබා ගැනීම ඇරඹේ

by Staff writer 19-12-2018 | 11:09 AM
COLOMBO (News 1st) - කාල නීර්ණය සඳහා අමෙරිකාවට යැවීමට මන්නාරම සමූහ මිනී වළෙන් සාම්පල ලබා ගැනීම ආරම්භ කර තිබේ. ඒ, මන්නාරම මහේස්ත්‍රාත්වරයාගේ අධීක්ෂණය යටතේ ය. ඊයේ දිනයේදී සාම්පල තුනක් ලබා ගැනීම සිදු කෙරුණේ, කැනීම් භාර විශේෂඥ අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ හා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙනි. මෙම අවස්ථාවට අතුරුදන් වූවන්ගේ සංවිධානයේ ඥාතීන් පිරිසක් හා අතුරුදන් වූවන් පිළිබඳ ලේකම් කාර්යාලයේ නියෝජිතයෙකු ද සහභාගී විය. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා ප්‍රකාශ කළේ, සමූහ මිනී වළෙන් තවත් සාම්පල තුනක් ලබා ගැනීමට නියමිත බව ය. අදාළ සාම්පල කාල නිර්ණය සඳහා අමෙරිකාවේ බීටා ඇනලයිසිස් ආයතනය වෙත යැවීමට සැලසුම් කර තිබේ. මේ අතර පසුගිය මැයි මාසයේ සිට මේ දක්වා ක්‍රියාත්මක කැණීම්වලදී මන්නාරම සමූහ මිනී වළෙන් මිනිස් ඇට සැකිලි 279 ක් සොයා ගෙන ඇති බව මහචාර්ය රාජ් සෝමදේව මහතා පැවසුවේ ය. මන්නාරම සතොස ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා බිම් සකස් කිරීමේදී මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුවීමත් සමග අධිකරණ නියෝග මත මෙම කැණීම් ආරම්භ කෙරිණි.