ශ්‍රීලංකන් සමාගම රාජ්‍ය බැංකු 2කට බි. 5ක් ණය වෙයි

ශ්‍රීලංකන් ගුවන් සමාගම රාජ්‍ය බැංකු 2කට බිලියන 5කට අධික මුදලක් ණය වෙයි

by Staff writer 18-12-2018 | 8:54 PM
COLOMBO (News 1st) - ශ්‍රීලංකන් ගුවන් සමාගම රාජ්‍ය බැංකු දෙකකට රුපියල් බිලියන 5කට අධික මුදලක් ණය වී අතැයි අද ශ්‍රීලංකන් එයාර්ලයින් සහ මිහින් ලංකා සමාගමේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් විභාග කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අනාවරණය විය. ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අද රැස්වූ අවස්ථාවේ සාක්ෂි ලබා දුන් ශ්‍රීලංකන් ගුවන් තාක්ෂණික සේවා ඉංජිනේරු අසිත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, 2017 මාර්තු 15 වන දා වන විට නැවත භාර දිය යුතු ගුවන් යානයක් මාස 6ක් ප්‍රමාද වී ලබා දීම හේතුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 3.5කට අධික මුදලක් එනම් රුපියල බිලියන 5.3කට අධික මුදලක් ගෙවීමට සිදුව ඇති බව ය. දෙවැනි සාක්ෂිකරු වන මිහින් ලංකා සමාගමේ ඈවරකරු සුදත් කුමාර මහතා කොමිසම හමුවේ අනාවරණය කළේ, මේ වසරේ ජනවාරි 15 වන දා වන විට මිහින් ලංකා සමාගම රාජ්‍ය බැංකු වන ලංකා බැංකුව සහ මහජන බැංකුවට දළ වශයෙන් රුපියල් බිලියන 5කට අධික මුදලක් ගෙවිය යුතු බව ය. එමෙන් ම ඊ.ටී.එෆ්. අරමුදලට රුපියල් 136647ක මුදලක් සහ කම්කරු කොමසාරිස්වරයා වෙත එක්කෝටි 67 ලක්ෂ හැට දෙදහස් 307ක මුදලක් ගෙවිය යුතු බව ද එහිදී අණාවරණය විය.