රට රැකියා දෙන බව කියා මුදල් වංචා කළ කතක් දැලේ

රට රැකියා දෙන බව කියා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට

by Staff writer 18-12-2018 | 10:55 AM
COLOMBO (News 1st) : කැනඩාවේ රැකියා සඳහා යවන බව පවසා විවිධ පුද්ගලයින්ගෙන් මුදල් වංචා කළ කාන්තාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, නවගමුව ප්‍රදේශයේ නිවසක කුලී කාමරයක සැඟව සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ මෙම කාන්තාව අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට පත්ව ඇත්තේ 46 හැවිරිදි කාන්තාවකි. ඇයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි 51 ක් ලැබී තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සන්තකයේ තිබී ග්‍රැම් 350 ක බරින් යුතු ස්වර්ණාභරණ ,බැංකු පාස් පොත් 50ක් ඒ.ටී.එම් කාඩ් පත් 50 ක් ද සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. ඔහු කියා සිටියේ එම කාන්තාව සන්තකයේ තිබි විවිධ පුද්ගලයින්ට අයත් විදෙස් ගමන් බලපත්‍ර 72 ක් ද සොයා ගත් බවයි.