පාර්ලිමේන්තුව අද ත් 1.00ට රැස්වෙයි

පාර්ලිමේන්තුව අද ත් 1.00ට රැස්වෙයි

by Sagarika Chathumali 18-12-2018 | 6:44 AM
COLOMBO (News 1st) : කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තු සභාවාරය දහවල් 1.00 ට ආරම්භ වීමට නියමිතව ඇත. මේ අතර පාර්ලිමේන්තුව රැස්වීමට පෙර විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වේ. පාර්ලිමේන්තු මහලේකම් නීල් ඉද්දවෙල මහතා පැවසුවේ, දහවල් 12 ට එම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිත බවයි. එම රැස්වීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවල නායකයින්ට ආරාධනා කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය. පසුගිය දිනවල තාවකාලිකව වසා දමා තිබූ මහජන ගැලරිය, ආරාධිත ගැලරිය සහ විශේෂ ආරාධිත ගැලරිය යළි විවෘත කිරිම සම්බන්ධයෙන් ද මෙම පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිත වේ. මේ අතර පාර්ලිමේන්තු සැසිවාර කිහිපයකට ම සහභාගී නොවූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම අද පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසී ය. ඔහු සඳහන් කළේ, සන්ධාන මන්ත්‍රී කණ්ඩායම අද පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගන්නා බවයි.