උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

දුම්රියක් පීළි පැනීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

by Staff writer 18-12-2018 | 3:41 PM
COLOMBO (News 1st) - ඉහළ වටවල සහ රොසැල්ල අතර දුම්රියක් පීළි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසයි. අද පස්වරු 1.45ට පමණ පීළි පැනීමට ලක්ව ඇත්තේ, අලුත්ගම සිට බණ්ඩාරවෙල දක්වා ධාවනය වූ විශේෂ දුම්රියකි. මේ හේතුවෙන් පොඩි මැණිකේ දුම්රිය රොසැල්ල දුම්රිය ස්ථානයේත්, කොළඹින් ධාවනය වූ තවත් දුම්රියක් ගලබොඩ දුම්රිය ස්ථානය ආසන්නයේත් නවතා ඇතැයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ ය. එහි සිටින මගීන් බස් රථ මගින් ගමනාන්තය දක්වා රැගෙන යාමට පියවර ගෙන ඇතැයි පාලක මැදිරිය සඳහන් කළේ ය. මේ වන විට දුම්රිය පීළිගත කිරීම් ආරම්භ කර ඇති අතර කඩිනමින් දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව ද දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් පැවසුවේ ය.