නීති විරෝධි පොලිතින් භාවිත කරන්නන්ට රතු එළියක්..!

නීති විරෝධි පොලිතින් නිෂ්පාදකයින් සහ භාවිත කරන්නන්ට රතු එළියක්..!

by Staff writer 17-12-2018 | 11:09 AM

COLOMBO (News 1st) - නීති විරෝධි පොලිතින් නිෂ්පාදනය කළ නිෂ්පාදකයින්, අළෙවිකරුවන් සහ ඒවා භාවිතයට ගත් ආපනශාලා හිමිකරුවන් 366 දෙනෙකුට එරෙහිව නඩු පැවරූ බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

එහි විමර්ශන අධ්‍යක්ෂ එන්. එස්. ගමගේ මහතා සඳහන් කළේ, ඉන් 350 දෙනෙකු අළෙවිකරුවන් සහ ආපනශාලා හිමියන් වන බවය. 16 දෙනෙකු නිෂ්පාදකයන් වේ. විමර්ශන අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, නීති විරෝධි පොලිතින් නිෂ්පාදකයින් කොළඹ, මාතලේ සහ ගම්පහ ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන ඇති බවයි. කුරුණෑගල, ගාල්ල, කළුතර, ගම්පහ සහ කොළඹ ප්‍රදේශවලින් අළෙවිකරුවන් සහ ආපනශාලා හිමියන් වැඩි වශයෙන් අත්අඩංගුවට ගත් බව ඔහු සඳහන් කළේ ය. අධ්‍යක්ෂ එන්. එස්. ගමගේ මහතා පැවසුවේ, අසත්‍ය තොරතුරු ඇතුළත් කරමින් නීති විරෝධි පොලිතින් නිෂ්පාදන වැඩි වශයෙන් වෙළෙඳපොළේ පවතින බවට තොරතුරු ලැබී ඇති බවයි. එවැනි පොලිතින් නිෂ්පාදන පිළිබඳ අවධානයෙන් පසුවී ඒවා අළෙවිය සඳහා මිලදී නොගන්නැයි, ඔහු වෙළෙඳුන්ට දැනුම් දෙයි. ඔහු සඳහන් කළේ, වැටලීම්වලදී වෙළෙඳුන්ට එරෙහිව ද දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි. මධ්‍යම පරිසර අධිකාරිය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එක් ව දීපව්‍යාප්ත වැටලීම් ක්‍රියාත්මක වේ.