by Staff writer 17-12-2018 | 6:15 AM
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුවේ ඇති වූ කළහකාරී සිදුවීම් පිළිබඳ ඉදිරි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබේ.
පොලීසිය සඳහන් කළේ, මෙතෙක් සිදු කළ විමර්ශනවල වාර්තා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවයි.
මේ වන විට අදාළ සිදුවීම් සම්බන්ධයෙන් 30 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.
පොලීසිය පැවසුවේ, ආශූ මාරසිංහ, විජිත හේරත්, ඉන්දික අනුරුද්ධ, පියල් නිශාන්ත, දිලුම් අමුණුගම, සහ ගාමිණි ජයවික්‍රම යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ද ප්‍රකාශ ලබා ගෙන ඇති බවයි.
ඊට අමතරව පොලිස් නිලධාරීන්ගෙන් ද ප්‍රකාශ ලබා ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, සිදුවීම්වලට අදාළව මිරිස් කුඩු සාම්පල සහ ආරක්ෂිත කැමරා දර්ශන සහිත සංයුක්ත තැටි කිහිපයක් ද නඩු භාණ්ඩ ලෙස ලබා ගෙන ඇති බවයි.
මේ අතර පාර්ලිමේන්තුවේ ඇති වූ කළහකාරී සිදුවීම්වලට අදාළ කැමරා දර්ශන පෞද්ගලික මාධ්‍ය ආයතන මගින් ලබා ගැනීමට තීරණය කර තිබේ.
කළහකාරී සිදුවීම් පිළිබඳ විමර්ශනයට පත් කළ කමිටුවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේ, මාධ්‍ය ආයතන මගින් ලබා ගන්නා දර්ශන විශේෂ පොලිස් කණ්ඩායමක් සමග එක් ව නිරීක්ෂණය කිරීමට සැලසුම් කර ඇති බවයි.
පාර්ලිමේන්තුවේ ආරක්ෂිත කැමරා දර්ශන කමිටුවේ සෙසු සමාජිකයින් දෙදෙනා බැගින් වෙන් වෙන්ව අධ්‍යනය කරන බව ද ඔහු සඳහන් කළේ ය.