"රනිල් අගමැති කළේ, ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරමින්"

''රනිල්ට අගමැති ධුරය දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින්''- ජනපති

by Sagarika Chathumali 16-12-2018 | 6:01 PM
COLOMBO (News 1st) : රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරය ලබා දුන්නේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට සහ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන නායකයෙකු ලෙස බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. තව ද පාර්ලිමේනේතුවේ 225 දෙනාම අත්සන් කළ ද අගමැති ධූරය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා නොදෙන බවට තමා කළ ප්‍රකාශය සිය පෞද්ගලික දේශපාලන මතය බව ත් එය අදටත් එලෙස ම පවතින බව ත් ජනාධිපතිවරයා අවධාරණය කර සිටී. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ජනාධිපති කාර්යාලයේදී රනිල් වික්‍රමසිංහ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහතා දිවුරුම් දීමෙන් අනතුරුව අගමැති සහ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් අමතමිනි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම , වාර අවසන් කිරීම, අගමැති ඉවත් කිරීම, අගමැති පත් කිරීම ඇතුළු සියලු පියවර තමා ගනු ලැබුවේ, සිය තනි කැමැත්තට නොවන බව ත් ඒ සඳහා රටේ ඉහළම නීති විශාරදයින්ගේ උපදෙස් ලබා ගනිමින් බව ත් ජනාධිපතිවරයා එහිදී පවසා ඇත. තව ද එකී පියවරයන් මාතෘ භූමිය වෙනුවෙන් ඉතා සද්භාවයෙන් ගත් තීරණ බව ත් ඉන් ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමේ කිසිදු අයහපත් චේතනාවක් තමා තුළ නොතිබූ බව ත් ජනාධිපතිවරයා සිහිපත් කර තිබේ. අමාත්‍යංශ වෙන් කිරීමේදී විද්‍යාත්මක පදනම අනුගමනය කිරීමට කටයුතු නොකිරීම, මහ බැංකු කොල්ලය හා ඒ සඳහා පත් කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම, භික්ෂු සමාජය අහිමි කර ගැනීම සහ රණවිරුවන් සිරගත කිරීම වැනි ක්‍රියා ඔස්සේ පසුගිය වසර 4කට ආසන්න කාලයක් රජය කටයුතු කළ ආකාරය පිළිබඳ කලකිරීමෙන් පසු වූ බවත් පසුගිය දා තමා ගත් දේශපාලන තීන්දු තීරණ සඳහා එම තත්ත්වයන් දැඩි බලපෑමක් ඇති කළ බවත් ජනාධිපතිවරයා එහිදී පවසා ඇත. අධිකරණයට පත් කිරීමේදී ජ්‍යෙෂ්ඨත්වයට සලකා නොමැති බවට විනිසුරුවන් අතරේ තමාට චෝදනාවක් ඇති බව පැවසූ ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ, එලෙස තමාට චෝදනා එල්ල කරන ජ්‍යෙෂ්ඨ විනිසුරුවන්ගේ නම් සියල්ල තමන් ව්‍යවස්ථාදායක සභාවට යොමු කර ඇති බව ත් ව්‍යවස්ථාදායක සභාව විසින් එකී නම් ප්‍රතික්ෂේප කර ඇති බවත් ය. මහා වංචාවක් සිදු වූ මහ බැංකු බැඳුම්කරයට සම්බන්ධ හිටපු අධිපති අර්ජුණ මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට යහපාලන ආණ්ඩුව යටතේ කිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවූ බවත් ඒ පිළිබඳ තමා දැඩි ලෙස කනගාටුවට පත්ව සිටි බව ත් පැවසී ය. බිලියන 1000කට වැඩි මහා වංචාවක් සිදු වූ මහ බැංකු බැඳුම්කරයට සම්බන්ධ හිටපු අධිපති අර්ජුණ මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට යපපාලන ආණ්ඩුව යටතේ කිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවූ බවත් ඒ පිළිබඳ තමා දැඩි ලෙස කනගාටුවට පත්ව සිටි බව ත් පැවසී ය. තව ද මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධ විමර්ශන සිදු කළ නිලධාරීන්ට එකී විමර්ශනවලදී විවිධ පාර්ශවල බලපෑම්වලට ලක්වීමට සිදු වූ බව ද ජනාධිපතිවරයා එහිදී සිහිපත් කර සිටියේ ය. තව ද තමා අග්‍රාමාත්‍යවරයාට කෙතරම් කළගුණ සැලකුවේ ද කිවහොත් අගමැතිවරයා තමාගේ බලතළ ද සියතට ගෙන කටයුතු කරද්දී පවා තමා කිසිදු අවස්ථාවක ඒ පිළිබඳ නොවිමසූ බව ත් ජනාධිපතිවරයා පිරිස අමතමින් පැවසී ය. යහපාලන ආණ්ඩුව යටතේ සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමේදී ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතු ආයතනවල අනුමැතියෙන් තොරව හිතුමතේ එකී තීරණ ගෙන ඇති බව ද ජනාධිපතිවරයා සිහිපත් කළේ ය. අලි ඇතුන් ප්‍රශ්න මුල්කර ගෙන භික්ෂුන් වහන්සේ සිර දඬුවම් පැමිණවීම හා විවිධ කරුණු මුල්කර රණවිරුවන් සිරගත කිරීම් සම්බන්ධයෙන් තමා දැඩි ලෙස විරුද්ධ වූ බව ද ජනාධිපතිවරයා එහිදී පවසා ඇත. මේ අතර ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනඑන බවට පළ ප්‍රකාශයන් පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කර තිබේ. ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, තමා සිරගත කළ ද පිරිසිදු චේතනාවෙන් හා සද්භාවයෙන් රටේ ජනතාව වෙනුවෙන් ගත් නිවැරදි තීන්දු තීරණ ගලේ කෙටූ අකුරක් සේ ඉතිහාසයේ ලියවෙනු ඇති බවයි. තව ද ජනාධිපතිවරයා සිහිපත් කළේ , තමා රට තුළ ගොඩ නැගූ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය භාවිත කරමින් ඇතැමුන් ඉතිහාසයේ කිසිදු නායකයෙකුට සිදු නොකළ ආකරයේ කෘර ප්‍රකාශයන් තමාට එරෙහිව සිදු කළ බවයි. අසාර්ථක වූ සහ අමු අමුවේ විනාශ කළ යහපාලන සංකල්පය ඉටුකර ගත හැක්කේ, රටට ආදරය කරන සංස්කෘතික වටිනාකම් සහ සමාජ හර පද්ධතිවලට ගරු කරන දේශපාලන ව්‍යාපාරයක් තුළින් පමණක් බව ද මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත. https://www.youtube.com/watch?v=fwMqPjX8btY