රනිල් වික්‍රමසිංහ යළි ත් අගමැති ධූරයට

නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

by Hashini De Mel 16-12-2018 | 11:26 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 23 වන අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නේ 5 වැනි වරටයි. මෙරට දේශපාලන හා සමාජ වෙනස්කම් රැසකට මුල පිරූ 1977 මැතිවරණයේදී බියගම ආසනය ජය ගනිමින් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු වරම් ලැබුවේ ය. ඒ වන විට 27 වැනි වියේ පසු වූ ඔහු එකල සිටි ළාබාලතම කැබිනට් අමාත්‍යවරයායි. අධ්‍යාපන, තරුණ කටයුතු, රැකි රක්ෂා හා කර්මාන්ත අමාත්‍ය ධූරය දැරූ රනිල් වික්‍රමසිංහ මහතා ජාතික තරුණ සේවා සභාව බිහි කිරීමට මෙන්ම නිදහස් වෙළෙඳ කලාප ස්ථාපිත කිරීමට පුරෝගාමී මෙහෙවරක නිරත විය. ජනතාවගේ පිළිගැනීමට ලක් වූ පරිනත දේශපාලනඥයෙකු වන වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්වූයේ 1994 වසරේදීයි. අර්බුද හමුවේ පක්ෂය හා පාක්ෂිකයින් ඒකරාශි කරමින් ඔහු විපක්ෂ නායකයා ලෙස ක්‍රියා කළේ ය. වික්‍රමසිංහ මහතා මෙරට දීර්ඝ කාලයක් විපක්ෂ නායක ධූරය දැරූ දේශපාලනඥයා ද වනු ඇත. ඒ අනූව ඔහු වසර 20 ක කාලයක් විපක්ෂ නායක ධූරයේ කටයුතු කළේ ය. 2015 වසරේ ජනවාරි 08 වැනි දා අග්‍රාමාත්‍ය ධූරයට පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ඔක්තෝබර් 26 වැනි දා දක්වා අග්‍රාමාත්‍ය ධූරය හොඹවනු ලැබීය. අනතුරුව ජනාධිපතිතුමා විසින් ඔහු ධූරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත් කළේ ය. ඒ, එතෙක් පැවති එක්සත් ජාතික පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එකතුවෙන් පවත්වාගෙන ගිය යහපාලන රජයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉවත්වීමත් සමගයි. ඊයේ දිනයේදී මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වූ අතර ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ අද දිවුරුම් දුන්නේ ය.