ගත වූ පැය 24 තුළ රිය අනතුරුවලින් පුද්ගල මරණ 5ක්

ගත වූ පැය 24 තුළ රිය අනතුරුවලින් පුද්ගල මරණ 5ක්

by Staff writer 15-12-2018 | 4:00 PM
COLOMBO (News 1st) - ගත වූ පැය 24ක කාලය තුළ ඌරුබොක්ක, අගුණුකොළපැලැස්ස, කොළඹ වරාය, හබරණ සහ යාපනය ප්‍රදේශවල සිදු වූ රිය අනතුරුවලින් කුඩා දැරියක ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු මිය ගොස් තිබේ. පොලීසිය පැවසුවේ, ඌරුබොක්ක - ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ ත්‍රිරෝද රථයක් හා බස් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් කුඩා දැරියක් මිය ගොස් ඇති බව ය. අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියැදුරු සහ එහි ගමන් කළ කාන්තාවක ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. මිය ගොස් ඇත්තේ 8 හැවිරිදි මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචි දැරියකි. මේ අතර අගුණුකොළපැලැස්ස නෝනාගම ඇඹිලිපිටිය මාර්ගයේ රම්බා විහාරය අසළදී ඊයේ පස්වරුවේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, මෝටර් රථයක් රියැදුරුට පාලනය කර ගත නොහැකිව ප්‍රධාන මාර්ගය ආසන්නයේ නවතා තිබූ යතුරු පැදියක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව ය. මිය ගොස් ඇත්තේ 66 හැවිරිදි අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කොළඹ වරාය පොලිස් වසමේ වෙරළබඩ සිට චීන වරාය දෙසට ගමන් කරමින් තිබූ ලොරි රථයක් යතුරු පැදියක ගැටීමෙන් තවත් අනතුරක් සිදුව තිබේ. පොලීසිය සඳහන් කළේ, අනතුරින් තුවාල ලැබූ යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පැදිකරු මිය ගොස් ඇති බව ය. 41 හැවිරිදි කන්තලේ ප්‍රදේශයේ පදිංචි නාවික සෙබළෙකු අනතුරින් මිය ගොස් තිබේ. මේ අතර හබරණ පොළොන්නරුව මාර්ගයේ ඊරියගොල්ල ප්‍රදේශයේදී මෝටර් රථයක් වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගය හරහා ගමන් ගත් පුද්ගලයෙකුගේ ගැටී තිබේ. පොලීසිය සඳහන් කළේ, අනතුරින් තුවාල ලැබූ 54 හැවිරිදි පාතගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මිය ගොස් ඇති බව ය. මේ අතර යාපනය කයිට්ස් මාර්ගයේ පළමුවන කිලෝමීටර් කණුව ආසන්න ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, යතුරු පැදිය පාලනය කර ගත නොහැකිව පදික පුද්ගලයෙකුගේ ඇඟේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව ය. මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 48ක් වූ යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.