ඖෂධ ආනයනයට බාධා - සෞඛ්‍ය අමාත්‍යාංශය

ඖෂධ ආනයනය කිරීමේදී බාධා මතු ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි

by Staff writer 15-12-2018 | 9:17 AM

COLOMBO (News 1st) - පවතින දේශපාලන වාතාවරණය හමුවේ ඖෂධ ආනයනය කිරීමේ කටයුතුවලට බාධා මතු ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඖෂධ ඇණවුම් කිරීම සඳහා ප්‍රසම්පාදන ලබා ගැනීමට ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකිවීම හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බවය. ණයවර ලිපි නිකුත් කිරීම සඳහා ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන නොමැති බව ද එම නිලධාරියා අනාවරණ කළේ ය. ඔහු ප්‍රකාශ කළේ, මෙරටට අවශ්‍ය ඖෂධ ණයවර ලිපි නිකුත් කොට ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පසු පමණක් නිෂ්පාදනය වන බවයි. ණයවර ලිපි නිකුත් කිරීම ප්‍රමාදවීම හමුවේ, මෙරටට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය ද නැවතී තිබේ. පවතින තත්ත්වය තුළ ලබන වසරේ පළමු මාස 4 ක කාලය තුළ රට තුළ ඖෂධ හිඟයක් ඇතිවිය හැකි බව ද ඔහු ප්‍රකාශ කළේ ය. එම නිලධාරියා පැවසූවේ, මේ වන විට ඖෂධ හිඟයක් නොමැති නමුත් ඖෂධ ගෙන්වීමේ කටයුතු මේ වන විට ඇණහිටිමින් ඇති බැවින් ඉදිරියේදී මෙම තත්ත්වයට මුහුණදීමට සිදුවනු ඇති බවයි.