ආසියාවේ නැගී එන කණ්ඩායම් අතර ශූරතාව ශ්‍රී ලංකාවට

ආසියාවේ නැගී එන කණ්ඩායම් එක්දින ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකාවට

by Staff writer 15-12-2018 | 6:51 PM
COLOMBO (News 1st) - ආසියාවේ නැගී එන කණ්ඩායම් අතර පැවති එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව අද සමත් විය. ප්‍රබල ඉන්දීය කණ්ඩායම සමග පැවති අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගත්තේ ලකුණු 3කිනි. මෙම තරගය කොළඹ අර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්විණි. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ශම්මු අශාන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය. ශ්‍රී ලංකාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 7කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 270කි. හසිත බෝයගොඩ ලකුණු 54යි. කමිඳු මෙන්ඩිස් ලකුණු 61ක් රැස් කළේ ය. අන්කිත් රාජ්පූට් ලකුණු 61කට කඩුලු 2ක් දවා ගත්තේ ය. ජයග්‍රහණය සඳහා ලකුණු 271ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුලු 5 ලකුණු 83කදී බිඳ වැටිණි. නිතිෂ් රානා ලකුණු 40යි. නායක ජයන්ට් යාදේව් ලකුණු 71ක් රැස් කළේ ය. ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 267ක් පමණි. අසේල ගුණරත්න ලකුණු 38ට කඩුලු 3ක් දවා ගත්තේ ය. තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස්. ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර 2017 වසරේදී ද මෙම තරගාවලියේ ශූරතාව දිනා ගත්තේ ය.