සුනිල් ශාන්ත බන්ධනාගාරයෙන් පැන ගිය අයුරු හෙළි කරයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සුනිල් ශාන්ත බන්ධනාගාරයෙන් පැන ගිය අයුරු හෙළි කරයි

by Staff writer 14-12-2018 | 7:16 AM
COLOMBO (News 1st) - බන්ධනාගාර නිලධාරියෙකු ලෙස සැරසුණු තම සහයකයෙකු මගින් තමන් බන්ධනාගාරයෙන් පළා ගිය බව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සුනිල් ශාන්ත නමැත්තා හෙළි කර තිබේ. ඒ, සැකකරුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ප්‍රශ්න කිරීම් හමුවේ ය. පොලීසිය සඳහන් කළේ, සැකකරුගේ සහයකයා බන්ධනාගාර නිලධාරීයෙකුගේ වෙස් ගෙන, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි සුනිල් ශාන්ත නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පැහැරගෙන ගොස් ඇති බව ය. පසුගිය මස 07 වන දා කෑගල්ල බන්ධනාගාරයේ සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන ඒමෙන් අනතුරුව සැකකාර සුනිල් ශාන්ත නමැත්තා එලෙස පළා ගොස් තිබිණි. මේ අතර පෙරේදා මීමුරේ ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් සුනිල් ශාන්ත නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ලබන 26 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. බන්ධනාගාර අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, සැකකරු මේ වන විට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂාවක් යටතේ රඳවා සිටින බව ය. මේ අතර ඔහුගේ සහයකයෙකු ද ලබන 26 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.