ඇමති මණ්ඩලයට එරෙහි අතුරු වාරණ නියෝගය තවදුරටත් බල පැවැත්වේ

by Staff writer 14-12-2018 | 5:15 PM

COLOMBO (News 1st) - මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයේත්, කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් එම ධූරවලත් කටයුතු කිරීම වළක්වමින් අභියාචනාධිකරණ දුන් අතුරු නියෝගය අත්හිටුවන්නැයි කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රතික්ෂේප කර තිබේ.

එම අතුරු සහනය ලබාදීම ප්‍රතික්ෂේප කළත් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සිව්දෙනෙකු ගොනු කළ අභියාචනය විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දුන්නේ, රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු අභියාචනාධිකරණයේ ගොනු කළ හෝ වොරොන්ටෝ පෙත්සම් විභාගය අත්හිටුවමිනි. මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සිව්දෙනෙකු ගොනු කළ අභියාචන පෙත්සම් අද සලකා බැලුවේ, ඊවා වනසුන්දර, බුවනෙක අලුවිහාරේ සහ විජිත් මලල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි. මෙම අභියාචන පෙත්සම් ජනවාරි මස 16, 17 සහ 18 යන දිනවලදී වැඩිදුර විභාගය සඳහා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ ය. පැමිණිලිකාර පාර්ශවයට දැනුම් දුන්නේ, සති තුනක් ඇතුළත ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙසයි. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල වෙනුවට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් අවශ්‍ය නම් ඒ පිළිබඳව අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කරන ලෙස එහිදී ඊවා වනසුන්දර මහත්මිය වගඋත්තරකාර පාර්ශවයට දැනුම් දුන් අතර එම ඉල්ලීම අගවිනිසුරුවරයාට යොමු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කර තිබේ. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධූරය දැරීම, කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරුන් එම ධූර දැරීම වළක්වන ලෙස ඉල්ලමින් පසුගිය නොවැම්බර් මස 23 වැනි දින රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු අත්සන් තබමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළේ ය. දෙසැම්බර් මස 03 වැනි දා එම පෙත්සම සලකා බැලු අභියාචනාධිකරණය පෙත්සම් විභාගය අවසන් වන තෙක් මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍යධූරයත්, කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ට එම ධූරවලත් කටයුතු කිරීම වලක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත. අභියාචනාධිකරණය එදින නියෝග කළේ, ජනවාරි මස 16, 17 සහ 18 දිනවල පෙත්සම් යළි කැඳවන බවයි. පසුව මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කිහිපදෙනෙකු එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 4 ක් ගොනු කළ අතර අභියාචනාධිකරණයේ අතුරු නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා සිටියේ ය. පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අද පෙන්වා දුන්නේ, මෙම කරුණ මහජනතාව දැඩි උනන්දුවක් දක්වන ඉතා වැදගත් කරුණක් වන බැවින්, අද දිනය තුළම සලකා බැලීමට අවසර ලබාදෙන ලෙසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132 ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණය එවැනි කරුණක් සම්බන්ධයෙන් ඉදිරිපත් වන පෙත්සම් විභාගයක් පවත්වා මාස දෙකක කාලයත් තුළ තීන්දුවක් ලබාදිය යුතු බව ද ඔහු පෙන්වා දුන්නේ ය. මෙම කරුණ මහජන උනන්දුවක් ඇති කරුණක් බවට රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ වගඋත්තරකාර පාර්ශවය ද පිළිගෙන ඇතැයි ජනාධිපති නීතිඥවරයා කියා සිටි. මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා ඉල්ලා සිටියේ මෙවැනි කරුණක් සම්බන්ධයෙන් ඉදිරිපත් වන අභියාචනයක් හෝ පෙත්සමක් කිසිදු ප්‍රමාදයකින් තොරව විභාගයට ගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ පෙර නිකුත් කර ඇති තීන්දු හා නියෝග අනුව පෙන්වා දී ඇති බැවින් සිය පෙත්සම් අද දින සලකා බලා ඉල්ලා ඇති සහනය ලබාදෙන ලෙසයි. පෙත්සමේ පළමුවන වගඋත්තරකරු ලෙස නම් කර තිබු රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ එස්. කනග්ඊස්වරන් මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේ ය. ඔහු පෙන්වා දුන්නේ, පාර්ලිමේන්තුව හමුවේ දෙවරක්ම අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය හා අමාත්‍ය මණ්ඩලය මෙන්ම රජය සම්බන්ධයෙන් ද විශ්වාසභංග දෙකක් සම්මත කර තිබියදී එම ධූර දැරීමේ නීතිමය අයිතියක් තවදුරටත් නොමැති බව තීරණය කළ අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇති බවයි. සිය සේවා දායකයන් විසින් අගවිනිසුරුවරයා වෙත යොමු කළ මෝසම මගින් ඊවා වනසුන්දර මහත්මිය නොමැති පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස ඉල්ලා ඇති බව වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ ය. නීතිඥවරයා පැවසුවේ, විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය මහින්ද රාජපක්ෂ මහතාගේ සමීප හිතවතෙකු බව ඇය විසින්ම පුවත්පත් සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇති බැවින් සිය සේවා දායකයා ඊවා වනසුන්දර මහත්මිය නොමැති විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙසට ඉල්ලා ඇති බවයි. එම ප්‍රකාශයට පිළිතුරු දුන් විනිසුරු මඩුල්ලේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ඊවා වනසුන්දර මහත්මිය රනිල් වික්‍රමසිංහ මහතාගේ මෝසම් පත්‍රය ඊයේ වනවිට අගවිනිසුරුවරයා වෙත යොමු කර තිබූ බවත්, එසේ තිබියදී තමා මෙකී පෙත්සම් සලකා බලා තීන්දුවක් ලබාදීම සඳහා පත් කර ඇති බැවින් එම පෙත්සම් සලකා බලා තීන්දුවක් ලබාදීම තම රාජකාරී යුතුකම බවත් අවධාරණය කර තිබේ. තමා තීන්දු හෝ නියෝග ලබා දෙන්නේ, පුද්ගලයින්ගේ මුහුණු හෝ තරාතිරම බලා නොව, රටේ පවත්නා නීතියට එකඟව පමණක් යැයි ද ඊවා වනසුන්දර මහත්මිය එහිදී පැවසුවා ය. සුරේන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුව හමුවේ සම්මත වූ වහාම අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ස්වභාවික විසුරුවා යාමක් සිදුවන බවයි. මෙය පාර්ලිමේන්තුවට සම්බන්ධ පත් කිරීමක් හෝ ඉවත් කිරීමක් බැවින්, එවැනි කරුණක් විභාග කළ හැක්කේ අභියාචනාධිකරණයට පමණක් යැයි නීතිඥවරයා තර්ක කළේ ය. එබැවින් අභියාචනාධිකරණය ලබා දී ඇති එකී නියෝගයට එරෙහිව ඉදිරිපත් වී ඇති පෙත්සම් සලකා බැලීමේ නීතිමය හැකියාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට නොමැති බවයි. දෙපාර්ශවයේ අදහස් දැක්විම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය අවසානයේ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පාර්ශව ගොනු කළ පෙත්සම් 4 විභාග කිරීමට තීරණය කර ඇත. විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය අද සිය අධිකරණ සේවාවෙන් විශ්‍රාම ගන්නා අතර තීරණය ප්‍රකාශ කරමින් ඇය කියා සිටියේ තමන් චේතනාන්විතව කිසිදු අයහපත් ක්‍රියාවක් සිදුකර නොමැති බවයි. ඉතා ගෞරවණීයව රාජකාරිය ඉටුකර ඇතැයි අධිකරණ ශාලාවෙන් පිටත්වීමට පෙර විනිසුරුවරිය ප්‍රකාශ කළා ය.
5.45pm : ශ්‍රේෂ්ඨාධිකරණ කටයුතු අදට අවසන් 5.45pm : අභියාචනාධිකරණය මගින් ලබා දුන් අතුරු තහනම් නියෝගය තවදුරටත් බල පැවැත්වේ. 5.40pm : පෙත්සම් විභාගය නැවත ජනවාරි මස 16, 17 හා 18 සිදුකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කරයි. 5.30pm: පෙත්සම් විභාගයේ ශ්‍රේෂ්ඨාධිකරණ කටයුතු යළි ඇරඹේ 5.15 pm : මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙසත් අමාත්‍ය මණ්ඩලයේ සෙසු සමාජිකයින් එම ධූරවලත් කටයුතු කිරීම වළක්වමින් අභියාචනාධිකරණය දුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලීම අවසන්, ශ්‍රේෂාඨාධිකරණය විනාඩි 10 කට කල් තැබෙයි