මහින්ද ඇතුළු 49 දෙනෙකුගේ අභියාචනය සලකා බැලීම අද

අගමැති ඇතුළු ඇමති මණ්ඩලයට දුන් අතුරු තහනම් නියෝගයට එරෙහි අභියාචනය සලකා බැලීම අද

by Staff writer 14-12-2018 | 6:51 AM
COLOMBO (News 1st) - අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ කටයුතු වළක්වමින් අභියාචනාධිකරණය දුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ අභියාචනය අද සලකා බැලීමට නියමිතව තිබේ. ඒ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර, බුවනෙක අලුවිහාරේ සහ විජිත් මලල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ය. තමන් ඇතුළු කැබිනට් මණ්ඩලයට අගමැති ධූරය ඇතුළු අමාත්‍ය ධූර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය පසුගිය 3 වන දා නිකුත් කළ අතුරු තහනම් නියෝගය අවලංගු කරල ලෙස ඉල්ලා මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 49 දෙනෙකු ගොනු කර ඇති අභියාචනා පෙත්සම් අද පෙරවරුවේ මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිත ය. රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරුන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ගොනු කෙරූ පෙත්සමක් සළකා බැලූ අභියාචනාධිකරණය එම පෙත්සම් විභාගයට ගෙන අවසන් වන තුරු බලපැවැත්වෙන පරිදි එම අතුරු තහනම් නියෝගය නිකුත් කෙරිණි.