මහින්ද ඇතුළු 49කගේ පෙත්සම් විභාග කිරීමට තීන්දුවක්

අගමැති ඇතුළු ඇමති මණ්ඩලයට දුන් අතුරු තහනමට එරෙහි පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂඨාධිකරණය තීන්දු කරයි

by Staff writer 14-12-2018 | 12:32 PM
COLOMBO (News 1st) - මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙසත් අමාත්‍ය මණ්ඩලයේ සෙසු සමාජිකයින් එම ධූරවලත් කටයුතු කිරීම වළක්වමින් අභියාචනාධිකරණය දුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව ගොනු කළ පෙත්සම, ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලීම අද පෙරවරුවේ ආරම්භ විය. ඒ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ඊවා වනසුන්දර, බුවනෙක අලුවිහාරේ සහ විජිත් මලල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ය. මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ අදාළ, පෙත්සම විභාග කිරීමටයි. එහිදී ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් කියා සිටියේ, මෙම පෙත්සම අදම විභාගයට ගත යුතු බව ය. පෙත්සම් අදම විභාගයට නොගන්නේ නම් ඉදිරියට යාමක් නොමැති බව පෙත්සම්කාර පාර්ශවය නියෝජනය කළ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ද පැවසුවේ ය. වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා කියා සිටියේ, ඇතැම් වගඋත්තරකරුවන්ට අධිකරණය නිකුත් කළ නොතීසි තවමත් ලැබී නොමැති බව ය. පෙත්සම් විභාගය සඳහා පූර්ණ විනිසුරු මඩුල්ලක් අවශ්‍ය බව ජනාධිපති නීතිඥ කේ. කනග ඊස්වරන් මහතා පැවසුවේ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටිමිනි.