පාර්ලිමේන්තුව විසුරුවීම:තීන්දුව ප්‍රකාශයට පත්කෙරේ

BREAKING : පාර්ලිමේන්තුව විසුරුවීම: ‍ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කෙරේ..

by Sagarika Chathumali 13-12-2018 | 5:09 PM
COLOMBO (News 1st) : ජනාධිපතිවරයා විසින් නොවැම්බර් මස 9 වන දා මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීරණය කළ අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ල අද පස්වරු 4.55 ට එම ගැසට් නිවේදනය බල රහිත කරමින් ඒකමතික නියෝගයක් නිකුත් කළේ ය. අගවිනිසුරු නලින් පෙරේරා මහතා ප්‍රමුඛ විනිසුරුවරුන් 6 දෙනෙකු එක්ව තීන්දුවක් නිකුත් කළ අතර විනිසුරු සිසිර ද ආබෘ මහතා වෙන්ව තීන්දුවක් ලබාදුන්නේ ය. කෙසේ නමුත් එකී තීන්දුව නිකුත් කරමින් විනිසුරු සිසිර ද ආබෘ මහතා පෙන්වා දුන්නේ අගවිනිසුරුවරයා ප්‍රමුඛ විනිසුරු මඩුල්ල නිකුත් කළ තීන්දු ප්‍රකාශයේ මූලික හරයට තමන් ද එකඟ වන බවයි. වසර 4 යි මාස 6 ක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට ජනාධිපතිතුමාට බලයක් නොමැති බවසත් පුද්ගල විනිසුරු මඩුල්ල තම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පැවසී ය. එම කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර යෝජනාවක් සම්මත විය යුතු බවද විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේ ය. සත් පුද්ගල විනිසුරු මඩුල්ල මේ අනුව ප්‍රකාශයට පත් කළේ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කළ පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවයි. පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ මෙම  පෙත්සම් සලකා බැලුණේ, අගවිනිසුරු නලීන් පෙරේරා, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ මුර්දූ ප්‍රනාන්දු යන සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නොවැම්බර් මස 9 වනදා රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය නිකුත් කළේ ය. පසුව එය අභියෝගයට ලක් කරමින් එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, සමස්ත ලංකා මහජන කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ මෙන්ම සිවිල් සංවිධාන කිහිපයක් පෙත්සම් 13 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළේ ය. පසුගිය මස 13 වැනිදා එම පෙත්සම් සලකා බැලූ අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රසන්න ජයවර්ධන සහ ප්‍රියන්ත ජයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ ගැසට් නිවේදනය දෙසැම්බර් මස 7 වැනිදා දක්වා බලරහිත කරමින් අතුරු නියෝගයක් නිකුත් කිරිමට පියවර ගත්හ. එහිදී පෙත්සම් විභාගයට දින නියම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේ දෙසැම්බර් මස 4, 5, 6 යන දිනවලදී වැඩිදුර විභාගය සිදුකෙරෙන බවයි. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල වෙනුවට සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස ඉන් අනතුරුව උදය ගම්මන්පිල මහතා මෝසමක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ ය. මේ අනුව පෙත්සම් විභාගය සඳහා සිසිර ද ආබෲ, බුවනෙක අළුවිහාරේ, විජිත් මලල්ගොඩ හා මුර්දූ ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු ද අගවිනිසුරුවරයා විසින් පත් කරනු ලැබූහ. පසුගිය දෙසැම්බර් 4 වන දා සිට දෙසැම්බර් 7 වන දා රාත්‍රිය දක්වා ම ගැසට් නිවේදනයට එරෙහි පෙත්සම් මෙන්ම අතරමැදි පෙත්සම් සියල්ල සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගත්තේ අතුරු තහනම ද දින කිහිපයකට දිර්ඝ කරමිනි. එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥයින්ගේ ප්‍රධාන තර්කය වූයේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් නොමැති බවයි. කෙසේ වෙතත් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ තිබෙන බව ශ්‍රේෂ්ඨාධිකරණයේදී කරුණු දැක්වූ නීතිපතිවරයා සහ තවත් අතරමැදි පෙත්සම්කරුවෝ කිහිපදෙනෙකුගේ නීතිඥයින් අවධාරණය කළහ. එම කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 7 වැනිදා රාත්‍රියේ දැනුම් දුන්නේ තම තීන්දුව දැනුම් දෙන තුරු අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක බවයි.   https://www.youtube.com/watch?v=eGre1d8ZFuE