by Staff writer 13-12-2018 | 6:48 AM
(News 1st) - තමන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවෙන් ජය ගැනීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ සමත් විය.
ඇයගේ නායකත්වය අභියෝගයට ලක් කරමින් ඊයේ පැවති මෙම ඡන්ද විමසීමේදී 63%ක වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගැනීමට තෙරේසා මේ සමත් වූ බව සඳහන් ය.
සංඛ්‍යාත්මකව ගත් කළ මන්ත්‍රීවරුන් 200 දෙනෙකු තෙරේසා මේට පක්ෂව ඡන්දය භාවිත කළ අතර විපක්ෂව ලද ඡන්ද සංඛ්‍යාව 117කි.
මේ අනුව තවත් වසරක් ගත වන තෙක් තෙරේසා මේට එරෙහිව නායකත්ව අභියෝගයක් ඉදිරිපත් කිරීමට නොහැකි වනු ඇති.
විශ්වසභංගය ජය ගැනීමෙන් පසු බ්‍රෙක්සිට් ගිවිසුම යථාර්ථයක් කරන බවට ප්‍රතිඥා දුන් තෙරේසා මේ තමන්ට විපක්ෂව ඡන්දය පළ කළ මන්ත්‍රීවරුන්ගේ අදහස් වෙත සවන් දුන් බව ද ප්‍රකාශ කළා ය.
ඇයගේ ආධාරකරුවන් බාධක නොතකා ඉදිරියට යන ලෙස තෙරේසා මේ දිරිමත් කළ නමුත් දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් එකක සහය අහිමි වීම ඇයගේ නායකත්වයට ප්‍රබල පහරක් බව ය.
බ්‍රෙක්සිට් ප්‍රතිපත්තිය 2016 වසරේ පැවති ජනමත විචාරණ ප්‍රතිඵලවලට එරෙහි බව පවසන මන්ත්‍රීවරුන් 48 දෙනෙක් අග්‍රාමාත්‍ය තෙරේසා මේට එරෙහි මෙම විශ්වාසභංගය ගෙන ඒමට මුල් වූහ.
විශ්වාසභංග ඡන්ද විමසීමට සුළු මොහොතකට පෙර මන්ත්‍රීවරුන් ඇමතූ තෙරේසා මේ, 2022 වසරේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේදී තරග නොකරන බවට ප්‍රතිඥා දුන්නා ය.
ඒ, සිය පක්ෂ සාමාජිකයින්ට තමන් තවත් මැතිවරණයකට ඉදිරිපත්වනු දැකීමට අවැසි නැති බව පවසමිනි.
මෙම විශ්වාසභංගයෙන් තෙරේසා මේ පරාජය වූවා නම් ඇයට කොන්සවටිව් පක්ෂ නායකත්වයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධූරයෙන් ද ඉල්ලා අස්වීමට සිදුවනු ඇති.