අතුරු තහනම විභාගයට විනිසුරුවන් 5ක් ඉල්ලයි

ඇමති මණ්ඩලයේ කටයුතු වැළකූ අතුරු නියෝගය විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයි

by Staff writer 13-12-2018 | 8:13 PM
COLOMBO (News 1st) : මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ කටයුතු වළක්වමින් අභියාචනාධිකරණය දුන් අතුරු නියෝගයට එරෙහිව ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ අභියාචනය පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කරන්නැයි, අද ඉල්ලීමක් ඉදිරිපත් විය. මෝසමක් මගින් මෙම ඉල්ලීම සිදු කරනු ලැබුවේ, රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසිනි. මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් සහ කැබිනට් මණ්ඩලය ඇතුළු අමාත්‍යවරුන්ට එම ධුර දැරීම වළක්වමින් පසුගිය 3 වන දා අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් ලබා දුන්නේ ය. ඊට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 49 දෙනෙකු ගොනු කළ අභියාචනා පෙත්සම් හෙට ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලීමට නියමිතයි. ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම අභියාචන සලකා බැලීමට නියමිත අතර රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පාර්ශ්වයන් ඉල්ලා සිටින්නේ ඒ සඳහා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙසයි. තම පාර්ශ්වයට සාධාරණ සහ යුක්ති සහගත නියෝගයක් ලබා ගැනීම සඳහා එකී ඉල්ලීම සිදුකරන බව ද ඔවුන් ඉදිරිපත් කළ මෝසමේ සඳහන් ය.