by Staff writer 13-12-2018 | 10:34 AM
COLOMBO (News 1st) - ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද පස්වරු 4.00ට ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.
ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ටාර් ප්‍රදීප් මහමුතුගල මහතා නිවස්ෆස්ට් වෙත ඒ බව තහවුරු කළේ ය.
එම පෙත්සම් විභාගය අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත් පුද්ගලය විනිසුරු මඩුල්ලක් හමුවේදී පසුගිය 4,5,6,7 යන දිනවලදී විභාගයට ගැනිණි.
ජනාධිපතිවරයාගේ එකී ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් හා සිවිල් සංවිධාන කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබේ.
එම පෙත්සම්වලට අතරමැදි පාර්ශවකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළු 12 දෙනෙකු ද පෙත්සම් ගොනු කර තිබූ අතර එම පෙත්සම්කරුවන්ගේ නීතිඥවරු හා නීතිපතිවරයා පුරා දින 4 ක් අධිකරණය හමුවේ කරුණු දැක්වූහ.