IPL වෙන්දේසියේ මාලිංග සහ මැතිව්ස් ඉහළ කාණ්ඩයට

2019 IPL ක්‍රීඩක වෙන්දේසියේ මාලිංග සහ මැතිව්ස් ඉහළ කාණ්ඩයට

by Staff writer 12-12-2018 | 11:39 AM

ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසියේදී ක්‍රීඩකයින් කාණ්ඩගතව ඇති අයුරු මේ වන විට ප්‍රකාශයට පත් ව තිබේ.

ලබන වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය එළඹෙන මාර්තු මස 29 වන දා පැවැත්වෙනු ඇති. ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග සහ ඇන්ජෙලෝ මැතිව්ස් එහි කාණ්ඩගත ව ඇත්තේ ඉහළම කාණ්ඩය හෙවත් ඉන්දීය රුපියල් කෝටි දෙකේ කාණ්ඩයටවීම විශේෂත්වයක් වනු ඇත. අදාළ කාණ්ඩයට තව ත් ක්‍රීඩකයින් 7 දෙනෙකු ඇතුළත් වේ. ඒ අනුව ඔවුන්ට ලංසු ඉදිරිපත් කිරීමේ අවම මුදල් ප්‍රමණය විය යුත්තේ ඉන්දීය රුපියල් කෝටි දෙකක්. ඊට අමතරව කුසල් ජනිත් පෙරේරා ඉන්දීය රුපියල් ලක්ෂ 75 කාණ්ඩයටත්, තිසර පෙරේරා, ජීවන් මෙන්ඩිස්, දසුන් ශානක සහ ඉසුරු උදාන ඉන්දීය රුපියල් ලක්ෂ 50 කාණ්ඩයටත් අයත් ය. ලබන 18 වන දා පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 1003 දෙනෙකු ලියාපදිංචි වී තිබූ අතර ඊට විදෙස් ක්‍රීඩකයින් 232 ක් ඇතුළත්ව තිබුණි. එම ක්‍රීඩකයින් අතරට ඇතුළත්ව සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාව 28 ක්. කෙසේ වෙතත් මේ වන විට අදළ වෙන්දේසිය සඳහා ඉදිරිපත්වීමට සුදුසුකම් ලබා ඇත්තේ ක්‍රීඩකයින් 346 දෙනෙකු පමණි. ඊට ඉන්දීය ක්‍රීඩකයින් 226 දෙනෙකු ඇතුළත් වේ.