විභාග කොමසාරිස්ගෙන් අපේක්ෂකයින්ට අවවාදයක්..!

සා/පෙළ විභාගය අවසන්වීමමෙන් පසු සාමකාමීව විසිර යන්න - විභාග කොමසාරිස්ගෙන් අපේක්ෂකයින්ට අවවාදයක්

by Staff writer 12-12-2018 | 9:02 AM

COLOMBO (News 1st)  - අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් දිනය වන අද විභාගය අවසන්වීමෙන් අනතුරුව සාමකාමීව විසිර යන ලෙස විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සියලු අපේක්ෂකයින්ගෙන් ඉල්ලීමක් කර සිටි.

නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, විභාගය අවසන්වීමෙන් අනතුරුව විභාග මධ්‍යස්ථානයේදී හෝ එම පරිශ්‍ර තුළදී පොදු දේපොළවලට අලාභහානි සිදු කිරීම විභාග පනත යටතේ දැඩි දඬුවම් ලැබිය හැකි වරදක් බවයි. එමෙන්ම විභාගය අවසන්වීමෙන් අනතුරුව කලහකාරී ලෙස හැසිරෙන අපේක්ෂකයින් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශාලාධිපතිවරුන් වෙත උපදෙස් ලබාදී ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය. මේ පිළිබඳව සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති අතර ඒ අනුව විභාග මධ්‍යස්ථාන අවට ජංගම පොලිස් මුර සංචාර යෙදවීමට ද පියවර ගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය. මේ සම්බන්ධයෙන් පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ 011 2 78 42 08 , 011 2 78 45 37 යන දුරකතන අංකවලට හෝ ක්ෂණික ඇමතුම් අංක 1911 සහ පොලිස් මූලස්ථානයේ හදිසි ඇමතුම් අංකය වන 119 ඔස්සේ වැඩිදුර තොරතුරු ලබාගත හැකි බව ද එම නිවේදනයේ සඳහන් වේ. මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, සියලු විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව පසුගිය තුන්වැනි දා සිට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි. ඒ ආශ්‍රිතව ජංගම මුර සංචාරක සේවා ද ක්‍රියාත්මක බව පොලිස් මධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.