රනිල්ට විශ්වාසය ඇති බවට යෝජනාව සම්මතයි

රනිල්ට අගමැති ලෙස කටයුතු කිරීමට විශ්වාසය ඇති බවට යෝජනාව සම්මතයි

by Sagarika Chathumali 12-12-2018 | 3:05 PM
COLOMBO (News 1st) : රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති බවට වූ යෝජනාව සම්මත විය. ඊට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 117කි. දෙමළ ජාතික සන්ධානය යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන්නේ ය. කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 1.00 ට අද පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කෙරිණ. ඉන් අනතුරුව වික්‍රමසිංහ මහතාට බහුතර විශ්වාසය ඇති බවට වූ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ, සජිත් ප්‍රේමදාස මහතා විසිනි. මංගල සමරවීර මහතා යෝජනාව ස්ථිර කළ අතර ඉන් අනතුරුව තවත් මන්ත්‍රීවරු කිහිපදෙනෙකු අදහස් පළ කිරීමෙන් අනතුරුව ඡන්ද විමසීම පැවැත්විණ. එහිදී එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රිවරු හා දෙමළ ජාතික සන්ධානය යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළහ. ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය දීමෙන් වැළකි සිටියේ ය. එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම අදත් පාර්ලිමේන්තු රැස්වීමට නොපැමිණි අතර පෙරවරුවේ පැවති පක්ෂ නායක රැස්වීමටද සහභාගී නොවී ය. පාර්ලිමේන්තුව ලබන 18 වන දා පස්වරු 1.00 දක්වා කල් තැබිණ. මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යවරයා වශයෙන් ක්‍රියා කිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිමයෙන් ඇති බවට ඉදිරිපත් කරන ලද යෝජනාව පාර්ලිමේන්තුවේදී යථා පරිදි සම්මත කරන ලද බව කතානායකවරයා ජනාධිපතිවරයා වෙත ලිඛිතව දන්වා යවා තිබේ. කතානායක මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ , පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුකූලව විවාද කිරීමෙන් අනතුරුව විද්‍යුත් ඡන්ද සටහන් කිරීමේ ඡන්ද භාවිතයෙන් මන්ත්‍රිවරුන් 117 දෙනෙකුගේ බහුතර ඡන්දයෙන් එම යෝජනාව සම්මත කර ගත් බවයි.