සුනිල් ශාන්ත මීමුරේදී අත්අඩංගුවට

බන්ධනාගාරයෙන් පළාගිය සුනිල් ශාන්ත නැමති සැකකරු මීමුරේදී අත්අඩංගුවට

by Staff writer 12-12-2018 | 9:15 AM

COLOMBO (News 1st) - කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටියදී පළාගිය සුනිල් ශාන්ත නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මාතලේ මීමුරේ ගම්මානයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක් ව කළ මෙහෙයුමකදීයි. පොලීසිය සඳහන් කළේ, සැකකරු සමග සිටි ඔහුගේ දියණිය සහ සැඟව සිටීමට ආධාර අනුබල දුන් යුවලක් ද ප්‍රශ්න කිරීම සඳහා තම භාරයට ගත් බවයි. පසුගිය මස 07 වැනි දා සැකකරු කෑගල්ල බන්ධනාගාරයේ සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන ඒමෙන් අනතුරුව පළාගොස් තිබුණි. සුනිල් ශාන්ත නැමති මෙම සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා ඇතුළු නඩු 10 කට අදාළ සැකකරුවෙකි. ඔහු මේ වනවිට කොළඹට රැගෙනවිත් ඇති අතර පළාගිය ආකාරය පිළිඳව ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය.