මෝදිට ලබන වසර දුෂ්කර වසරක් වනු ඇතැයි ගාන්ධි කියයි

නරේන්ද්‍ර මෝදිට ලබන වසර ඉතා දුෂ්කර වසරක් වනු ඇතැයි රාහුල් ගාන්ධිගෙන් ප්‍රකාශයක්..!

by Staff writer 12-12-2018 | 7:22 AM

ලබන වසර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ඉතා දුෂ්කර වසරක් වනු ඇතැයි ඉන්දීය කොංග්‍රස් පක්ෂ සභාපති රාහුල් ගාන්ධි පවසයි.

රාහුල් ගාන්ධි මේ බව ප්‍රකාශ කළේ, මධ්‍ය ප්‍රදේශ, රාජස්ථාන් සහ චතිස්ගාර් ප්‍රාන්ත සභා මැතිවරණ ප්‍රතිඵලවලින් කොංග්‍රස් පක්ෂය, පාලක භාරතීය ජනතා පක්ෂය අභිභවමින් පෙරමුණ ගත් පසුබිමකදීය. මෙම ප්‍රතිඵල නිකුත් කිරීම ඊයේ ආරම්භ විය. මෙය ලබන වසරේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය, භාරතීය ජනතා පක්ෂයට පහසු කාර්යක් නොවනු ඇති බව කියාපාන සාධකයක් බව ද රාහුල් ගාන්ධි වැඩිදුරටත් කියා සිටියේ ය. නරේන්ද්‍ර මෝදිගේ පාලනයෙන් ජනතාව අසතුටට පත් ව ඇතැයි පැවසූ රාහුල් ගාන්ධි, අග්‍රාමාත්‍යවරයා දූෂණයට එරෙහිව සටන් කරනු ඇතැයි සිතා ඔහුව තෝරා පත්කරගත් ජනතාව දැන් අග්‍රාමාත්‍යවරයා ද දූෂිත අයකු යැයි සිතන තත්ත්වයට පත් ව ඇතැයි ද ප්‍රකාශ කර තිබේ. මේ අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳහන් කළේ, ජයග්‍රහණය සහ පරාජය ජීවිතයේ කොටසක් බවයි. මේ හමුවේ පෙරටත් වඩා කැපවී රටේ සංවර්ධනය සහ රටවැසියන්ට සේවය කිරීමට යොමුවන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ය. මධ්‍ය ප්‍රදේශ්, රාජස්ථාන් සහ චතිස්ගාර් ප්‍රාන්ත මැතිවරණවලින් ලබාගත් ජයග්‍රහණ වෙනුවෙන් කොංග්‍රස් පක්ෂයට සුබ පතන බව ද අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වැඩිදුරටත් කියා සිටි. ප්‍රාන්ත පහක පැවති මෙම ප්‍රාන්ත සභා මැතිවරණයේ තෙලංඟානා ප්‍රාන්තයේ ආසන බහුතරයක් දිනා ගැනීමට තෙලංඟානා රාෂ්ට්‍ර සමිති පක්ෂය සමත් වූ අතර මිසො ජාතික පෙරමුණ මිසොරාම් ප්‍රාන්තයේ වැඩි ආසන ගණනක් දිනා ගැනීමට සමත් විය.