ගැඹුරු මුහුදේ සිටින ධීවරයින්ට දැනුම්දීමක්

ගැඹුරු මුහුදු ප්‍රදේශවල සිටින ධීවරයින්ට දැනුම්දීමක්

by Staff writer 12-12-2018 | 5:20 PM
COLOMBO (News 1st) : දිවයිනට ගිනිකොන දෙසින් දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ හේතුවෙන් හම්බන්තොට සිට පොතුවිල් දක්වා මඩකළපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති විය හැකි බවයි. සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70-80 දක්වා වැඩි විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පැවසී ය. මේ හේතුවෙන් හම්බන්තොට සිට පොතුවිල් ,මඩකළපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත නොවන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ , බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවල සිටින ධීවරයින් සහ නාවුක ප්‍රජාව ආරක්ෂිත මුහුදු ප්‍රදේශ වෙත ගමන් කරන ලෙසයි.