මෙරට ප්‍රථම විදුලි දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් ඇරඹේ

කණු මතින් දිවෙන මෙරට ප්‍රථම විදුලි දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් 2022දී අවසන්

by Staff writer 12-12-2018 | 9:40 AM

COLOMBO (News 1st) - කණු මතින් දිවෙන මෙරට ප්‍රථම විද්‍යුත් දුම්රිය මාර්ගය කොළඹ කොටුවේ සිට කොට්ටාව මාලපල්ල දක්වා ඉදි කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කැලණි වැලි දුම්රිය මාර්ගය වැටී ඇති ප්‍රදේශය ඔස්සේ එය ඉදි කෙරෙනු ඇති. දැනට කැබිනට් අනුමැතිය ලැබී ඇති මෙම විද්‍යුත් දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් 2022 වසරේදී අවසන් කිරීමට නියමිතයි. ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත වැය කරන මුදල අමෙරිකානු ඩොලර් බිලියනයක්. දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ, ද්විත්ව මාර්ගයක් ලෙස ඉදි කෙරෙන මෙම මාර්ගයේ සෑම විනාඩි 05 කට වරක්ම දුම්රියක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි. පළමු අදියරේ ඉදිකරීම් සඳහා ඒ ආශ්‍රිතව පදිංචි පවුල් 1000 කට වැඩි සංඛ්‍යාවක් ඉවත් කර විකල්ප ස්ථානවල පදිංචි කිරීමට නියමිත වනු ඇති. මෙම විද්‍යුත් දුම්රිය මාර්ගයේ දෙවැනි අදියර කොට්ටාවේ සිට පාදුක්ක දක්වාත් තෙවැනි අදියර පාදුක්කේ සිට අවිස්සාවේල්ල දක්වාත් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ ය. මෙම මාර්ගයේ දුම්රියෙන් ගමන් ගන්නේ සාමාන්‍ය මගී ජනතාවගෙන් 10% ක් පමණයි. විද්‍යුත් දුම්රිය මාර්ගය ඉදි කිරීමෙන් පසු එම මාර්ගයේ දුම්රියෙන් ගමන් ගන්නා මගීන් සංඛ්‍යාව 60% ක් දක්වා ඉහළ නැංවෙනු ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ ය.