අමාත්‍ය ධූර අභියෝගයට ලක් කළ පෙත්සම් විභාගය කල්යයි

අමාත්‍ය මණ්ඩලයේ කටයුතු අත්හිටුවන නියෝගයක් ඉල්ලා ගොනු කළ පෙත්සම් විභාගය ලබන මාසයට කල් යයි

by Staff writer 12-12-2018 | 12:25 PM

COLOMBO (News 1st) - අග්‍රමාත්‍ය ධුරය සහ අමාත්‍ය ධුර අභියෝගයට ලක්කරමින් රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මන්ත්‍රීවරු 122 දෙදෙනෙකු ගොනු කළ පෙත්සම වැඩිදුර විභාග කිරීම ලබන මස 16, 17, 18 දක්වා කල් තැබිණ.

ඒ අභියාචනාධිකරණ විනිසුරු පී.පද්මසුරසේන සහ අර්ජුණ ඔබේසේකර යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම යළි කැඳවූ අවස්ථාවේදියි. මීට පෙර මෙම පෙත්සම සලකා බලමින් අභියාචනාධිකරණය අග්‍රාමාත්‍යවරයාට හා අමාත්‍ය මණ්ඩලයට සිය තනතුරුවල කටයුතු කිරීම වලක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය. එහිදි පෙත්සම්කාර පාර්ශවය විසින් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු වග උත්තරකරුවන්ට නොතිසි නිකුත් කිරිමේදි ශ්‍රේෂ්ඨාධිකරණයේ රිතින් අනුව කටයුතු කර නොමැති බැවින් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පෙත්සම්කරුවන් විසින් ඉදිරිපත් කොට ඇති පෙත්සම් ප්‍රතික්ෂේප කරන ලෙස මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණි මාරපම මහතා ඇතුළු නීතිඥවරු අද අධිකරණයෙන් ඉල්ලා සිටියහ. කෙසේ නමුත් අධිකරණය එය ප්‍රතික්ෂේප කළේ ය. මේ අතර මහින්ද රාජපක්ෂ මහතාට සහ අමාත්‍ය මණ්ඩලයට එම ධුර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය බල රහිත කරන්නැයි, ඉල්ලා මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු වගඋත්තරකරුවන් 49 දෙනෙකු ගොනු කළ, අභියාචනා පෙත්සම් සලකා බැලීම ලබන සිකුරාදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේ ය. අභියාචනා පෙත්සම් අද කැඳවනු ලැබුවේ ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන සහ එල්.ටි.බි.දෙහිදෙණිය යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි. පෙත්සම් අද දිනයේදීම සලකා බලන්නැයි මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. මෙහිදි රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඊට විරෝධය පළ කරමින් කියා සිටියේ මේ සඳහා පෙනී සිටීමට වගඋත්තරකාර පාර්ශවයට නොතිසි ලැබි නොමැති බවයි. ඒ අනුව අභියාචනා පෙත්සම් සලකා බැලීම ලබන සිකුරාදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ ය.