රනිල් වික්‍රමසිංහ පා. මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීම වළක්වන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්

by Staff writer 11-12-2018 | 4:19 PM
COLOMBO (News 1st) - පෞද්ගලික සමාගමක කොටස්කරුවෙකු ලෙස කටයුතු කරමින් රාජ්‍ය ආයතන සමග ගිවිසුම්ගත ගනුදෙනුවල නිරත වීම නිසා රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීම වළක්වමින් කෝ වොරෙන්ටෝ රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කෙරිණි. අද පස්වරුවේ මෙම පෙත්සම ගොනු කළේ, කොළඹ නාගරික මන්ත්‍රිනී ශර්මිලා ගෝනවල මහත්මියයි. රනිල් වික්‍රමසිංහ මහතා ලේක්හවුස් ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස් සමූහයේ කොටස් හිමිකරුවෙකු වන බවත් 2014 සිට 2018 දක්වා සමාගමේ වාර්ෂික වාර්තාවලට අනුව ඔහු සමාගමේ 9 වන විශාලතම කොටස් හිමියා ලෙස සඳහන්ව ඇති බවත් පෙත්සමේ දක්වා තිබේ. මෙම සමාගම පාර්ලිමේන්තු පනත් මගින් රජයේ ආයතන ලෙස ස්ථාපිත කළ ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුවට චෙක් පොත්, සේවක හැඳුනුම්පත්, ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් මුද්‍රණය කර තිබේ. වගඋත්තරකාර රනිල් වික්‍රමසිංහ මහතා 2014 වසරේ සිට 2018 දක්වා පෞද්ගලිකවම මෙම කොන්ත්‍රාත්තුවලින් ලාභාංශ ලබා ඇතැයි ෂර්මිලා ගෝනවල මහත්මිය ගොනු කළ පෙත්සමේ සඳහන් ය. එහි සඳහන් වන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 1(ඉ) වගන්තිය අනුව රනිල් වික්‍රමසිංහ මහතාට තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරිය නොහැකි බව ය. පෙත්සම විභාග කර මේ සම්බන්ධයෙන් කෝ වොරෙන්ටෝ ආඥාවක් පනවන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කාරිය තම පෙත්සම් විභාගය අවසන් වන තෙක් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ කටයුතු කිරීම වළක්වන අතුරු නියෝගයක් ලබා දෙන ලෙස ද ඉල්ලීමක් කර තිබේ. රනිල් වික්‍රමසිංහ, අකිල විරාජ් කාරියවසම් සහ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක යන මහත්වරුන් ඇතුළු 5 දෙනෙකු මෙම පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.