ජනපති හා හිටපු ජනපති ගැන සමන් රත්නප්‍රිය කළ ප්‍රකාශයක් ගැන පොලිස් පරීක්ෂණ

by Staff writer 11-12-2018 | 8:27 PM
COLOMBO (News 1st) - පුරවැසි බලය සංවිධානයේ නියෝජිතයෙකු වන සමන් රත්නප්‍රිය මහතා මාධ්‍ය හමුවකදී කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ, රට තුළ අරගලයක් නිර්මාණය වන අන්දමේ සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අන්දමේ ප්‍රකාශයක් සමන් රත්නප්‍රිය මහතා කර ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උපුල් නිශාන්ත මහතා කළ පැමිණිල්ලකට අනුව එම විමර්ශනය ක්‍රියාත්මක බව ය. පසුගිය 06 වන දා පැවති මාධ්‍ය හමුවකදී සමන් රත්නප්‍රිය මහතා එම ප්‍රකාශය කළ බව උපුල් නිශාන්ත මහතා පොලිස් මූලස්ථානයට කරන ලද පැමිණිල්ලේ සඳහන් ය. ඒ අනුව අදාළ පැමිණිල්ල පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය වෙත යොමු කර තිබේ. අද දින එම ඒකකය මගින් පැමිණිලිකරුගේ දීර්ඝ ප්‍රකාශයක් සහ තවත් ප්‍රකාශ කිහිපයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. ඒ, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යන්තර සම්මුති පනත හා දණ්ඩ නීති සංග්‍රහය යටතේ ය.