කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධිය: පරීක්ෂණ අවසන්

කීත් නොයාර් පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධිය: පරීක්ෂණ අවසන් බව CIDය අධිකරණයට දැනුම් දෙයි

by Staff writer 11-12-2018 | 6:42 PM
COLOMBO (News 1st) - මාධ්‍යවේදි කීත් නොයාර් මහතා පැහැර ගෙන ගොස් පහර දීමේ සිද්ධියට සම්බන්ධ පරීක්ෂණ කටයුතු අවසන් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේ ය. ඒ, ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ මෙනෙවිය හමුවේ නඩුව අද කැඳවූ අවස්ථාවේදී ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ, මේ පිළිබඳව පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති අතර වැඩිදුර උපදෙස් සඳහා උදෘත නීතිපතිවරයාට යොමු කර ඇති බව ය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටින හිටපු බුද්ධි අංශ අධ්‍යක්ෂ මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතා ඇතුළු බුද්ධි අංශ නිලධාරීන් 07 දෙනා අද අධිකරණය හමුවේ පෙනී සිටියහ. නඩුව ලබන වසරේ ජුනි 11 වන දා යළි කැඳවීමට මහේස්ත්‍රාත්වරිය එහිදී නියෝග කළා ය.