ආරාධිත ගැලරි වසා පාර්ලිමේන්තුව හෙටත් 1කට රැස්වෙයි

ආරාධිත ගැලරි වසා පාර්ලිමේන්තුව හෙටත් 1කට රැස්වෙයි

by Sagarika Chathumali 11-12-2018 | 11:52 AM
COLOMBO (News 1st) : කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව හෙට පස්වරු 1.00 ට යළි රැස් වීමට නියමිතයි. පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේ, මහජන ගැලරිය, විශේෂ ආරාධිත ගැලරිය සහ ආරාධිත ගැලරිය හෙට දිනයේදීත් වසා තැබෙන බවයි. මේ අතර පාර්ලිමේන්තු සංකිර්ණය ආශ්‍රිතව හෙට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ද ඔහු සඳහන් කළේ ය. නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේ, න්‍යාය පත්‍රයට අනුව හෙට රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් ගෙන ඒමට නියමිත බවයි. මේ අතර පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව හෙට ප්‍රථම වරට රැස් වේ. එම කමිටුවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසුවේ, පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්කාරි තත්ත්වයට අදාළ CCTV දර්ශන කමිටුව වෙත මේ වනවිට ලැබී ඇති බවයි. ගැටුම් හේතුවෙන් පාර්ලිමේන්තු දේපළවලට සිදුවූ අලාභානි පිළිබඳ තක්සේරුවක් ද කමිටුව හමුවට ලැබී ඇතැයි ඔහු පැවසී ය. මේ අතර පාර්ලිමේන්තු ගැටුම පිළිබඳ විමර්ශනය කරන පොලිස් ප්‍රධානියෙකු හෙට කමිටුව හමුවට කැඳවන බව ද නියෝජ්‍ය කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.