ඇතැම් සැකකරුවන් අධිකරණයට ගෙනයාමේදී පොලිස් ආරක්ෂාව

හඳුනාගත් සැකකරුවන් අධිකරණයට ගෙන යාමේදී පොලිස් ආරක්ෂාව ලබා ගන්නැයි, උපදෙස්

by Staff writer 10-12-2018 | 2:53 PM

COLOMBO (News 1st) : හඳුනාගත් සැකකරුවන් අධිකරණ වෙත ගෙන යාමේදී පොලිස් ආරක්ෂාව ලබා ගැනීමට කටයුතු කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබේ.

බන්ධනාගාර අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු සඳහන් කළේ, බන්ධනාගාර නිලධාරීන් මගින් ලබා දෙන ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බවට හැඟී යන්නේ නම්, ඒ ඒ පොලිස් වසම් ආශ්‍රීත ආරක්ෂාවට පොලිස් නිලධාරීන් ලබා ගැනීමට එමගින් කටයුතු කළ හැකි බවයි. ඒ සම්බන්ධයෙන් මේ වන විට පොලිස්පතිවරයා දැනුම්වත් කර ඇතැයි ද, එම නිලධාරීයා ප්‍රකාශ කළේ ය. ඔහු පැවසුවේ, ප්‍රබල මත්ද්‍රව්‍ය ජවාරම්කරුවෙකු ඉලක්ක කර බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක් එල්ල කිරිමේ සුදානමක් ඇති බවට බන්ධනාගාර බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇති බවයි. එම තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව ද, එම නිලධාරීයා සඳහන් කළේ ය.