මරණ දඬුවම හිමි අයගේ වාර්තා ප්‍රමාදය ගැන පරීක්ෂණ

මරණීය දණ්ඩනය ලබා දිය යුතු පුද්ගලයින්ගේ වාර්තා ප්‍රමාද කිරීම ගැන පරීක්ෂණයක් කරන බව ජනපති කියයි

by Staff writer 10-12-2018 | 5:16 PM

COLOMBO (News 1st) - මරණීය දණ්ඩනය ලබාදිය යුතු පුද්ගලයින් පිළිබඳ වාර්තා කැඳවීමේදී එම ලිපි ලේඛන ඉදිරිපත් කිරීමට අදාළ අයතන නිසි පරිදි කටයුතු නොකිරීම හේතුවෙන් තීන්දු ක්‍රියාවට නැංවීම ප්‍රමාද වී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිතිතුමා මේ අදහස් පළ කළේ, මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය සහ අපරාධ අවම කිරීමට අදාළ නීති සංශෝධනය කිරීම පිළිබඳව ජනාධිපති කාර්යාලයේ අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවකට එක් වෙමිනි. අදාළ ලිපි ලේඛන ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී පරීක්ෂණයක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේ ය. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මෙම සාකච්ඡාවේදී බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා විශේෂ කාර්ය බලකායේ සහය ලබා ගැනීම, වැලිකඩ බන්ධනාගා‍රයේ රැඳවියන් බුස්ස බන්ධනාගාරයේ වෙත මාරු කිරීම, විෂ මත්ද්‍රව්‍ය ආඥා පනත, සහ සුරා බදු ආඥා පනත ආදි පනත් සංශෝධනය ආදි කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු වූ බවයි. මත්ද්‍රව්‍ය අළෙවිය සඳහා බලපත්‍ර ලබාදී තිබියදිත් ඒවා ප්‍රදර්ශනය නොකිරීම සහ ඉදිරිපත් නොකිරීම වරදක් සේ සලකා නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ නීති සංශෝධනය කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වි ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. නීතිපති ජයන්ත ජයසූරිය, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න, ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාව සඳහා එක් ව සිටියහ.