අකිලට ජාත්‍යන්තර තරගවලදී පන්දු යැවීම තහනම්

අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධි බව ක්‍රිකට් කවුන්සිලය කියයි

by Staff writer 10-12-2018 | 8:36 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා දඟ පන්දු යවන යොවුන් ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධි බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය අද නිවේදනය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම කවුන්සිලය අද ප්‍රකාශ කළේ, වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුට ජාත්‍යන්තර තරගවලදී පන්දු යැවීමේ තහනමක් පනවා ඇති බවයි. පසුගිය දා නිමාවට පත් වූ එංගලන්ත තරග සංචාරයේ ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව තරග තීරකවරුන් විසින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයට වාර්තා කළේ ය. ඒ අනුව 14 ක් ඇතුළත් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පරීක්ෂණයක් සිදු කිරීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගත්තේ ය. අකිල ධනංජය පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව ඔස්ට්‍රේලියාවේදී පරීක්ෂණයකට මුහුණ දුන්නේ ය. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය අද නිවේදනය කළේ, අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධි බව ස්වාධීන තක්සේරුවකින් සනාථවී ඇති බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර පිටියේ පන්දු යැවීම අත්හිටුවන බවයි.