බේරුවලින් හමුවූ හෙරොයින් ජාවාරමේ සුලමුල හෙළිවෙයි

බේරුවල මුහුදේදී වැටලූ හෙරොයින් ජාවාරම ගැන තවත් තොරතුරු හෙළිවෙයි

by Sagarika Chathumali 10-12-2018 | 6:54 AM
COLOMBO (News 1st) : බේරුවල මුහුදේදී හෙරොයින් තොගයක් සොයා ගැනීමට සම්බන්ධ ජාවාරම පාකිස්ථානය සහ මාලදිවයිනේ සිට මෙහෙයවා ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේ, රටින් පළා ගොස් සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් ජාවාරම මෙහෙයවා ඇති බවට අනාවරණ වී ඇති බවයි. සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් පස් දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය. මේ අතර ගනුදෙනු සඳහා චන්ද්‍රිකා දුරකථනයක් භාවිත කර ඇතැයි ද අනාවරණය වී තිබේ. ඒ පිළිබඳ මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති අතර දුරකතන සංවාද සම්බන්ධයෙන් මෙරට දුරකථන සමාගම් කිහිපයකින් ද තොරතුරු ලබා ගත් බව ද පොලීසිය සඳහන් කළේ ය. සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ගේ බැංකු ගිණුම් පරීක්ෂාවකට ලක් කිරීමට ද නියමිත ය. මේ අතර, 44 හැවිරිදි මොරගල්ල, බේරුවල පදිංචිකරුවෙකු හෙරොයින් තොගය ප්‍රවාහනය කළ ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරු වන අතර ඔහු පසුගිය 7 වනදා දහවල් අත්අඩංගුවට ගැනිණ. සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 15 ක මුදලක් සොයාගෙන ඇති අතර ඔහු එම මුදල ලබාගෙන ඇත්තේ යටියන්තොට ප්‍රදේශයේ බැංකුවක සිය පෞද්ගලික ගිණුමකිනි. ඔහු අධිකරණයට ඉදිරිපත් කර දින 7ක රැඳවුම් නියෝග ලබාගත් බව පොලීසිය පවසයි. හෙරොයින් කිලෝග්‍රෑම් 231 යි ග්‍රෑම් 54 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණේ පසුගිය 5 වනදා රාත්‍රියේයි. ඒවායේ වටිනාකම රුපියල් මිලියන 2778 කට අධික වේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය, මෙහෙයුම දියත් කර තිබුණේ පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ නාවික හමුදාවෙන් සහයෙනි.