සා/පෙළ විභාග අක්‍රමිකතා පිළිබඳ දෛනිකව පැමිණිලි

සා/පෙළ විභාග අක්‍රමිකතා පිළිබඳ දෛනිකව පැමිණිලි

by Staff writer 09-12-2018 | 7:30 AM

COLOMBO (News 1st) - අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාග අක්‍රමිකතා සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 50 ක් ලැබී ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී. පූජිත මහතා සඳහන් කළේ, දෛනිකව පැමිණිලි 3 - 4 ක් ලැබෙන බවයි. දිවයිනේ හඳුනාගත් විභාග මධ්‍යස්ථාන 3000 කට අධික සංඛ්‍යාවක් සඳහා අතිරේක ශාලාධිපතිවරුන් යොදවා ඇතැයි ද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ ය. මේ අතර ජංගම දුරකතනය භාවිත කර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමේ චෝදනාවට ලක් වූ සිසුවා සහ එම සිසුවාට දුරකතනය මගින් පිළිතුරු එවු ගුරුවරිය පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී. පූජිත මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට ද කරුණු වාර්තා කර ඇති බවයි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ද නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. එහි අතිරේක ලේකම් එම්. එම් රත්නායක මහතා සඳහන් කළේ, ඒ පිළිබඳ පරීක්ෂණයට විනය මණ්ඩලයක් පත් කරන බවයි. අදාළ ගුරුවරිය කැඳවා ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.