ජෝන් කෙලී ධවල මන්දිරයට සමු දෙයි...!

ජනපති ට්‍රම්ප් සමග මත ගැටුම් මැද ජෝන් කෙලී කාර්ය මණ්ඩල ප්‍රධානී ධූරයට සමු දෙයි

by Staff writer 09-12-2018 | 8:16 AM

ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානී ජෝන් කෙලී මෙම වසර අවසානයේ සිය ධූරයෙන් ඉවත් වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් නිවේදනය කර තිබේ.

ජෝන් කෙලී ඉල්ලා අස්වන බවට මීට පෙර මාධ්‍ය වාර්තා පළ වුව ද ධවල මන්දිරය එය තහවුරු කළේ නැත. එහෙත් ඔහු ඉල්ලා අස්වන බව අමෙරිකානු ජනාධිපතිවරයා නිල වශයෙන් නිවේදනය කළේ, ඔහුගේ සේවය ද ඇගයීමට ලක් කරමිනි. ජෝන් කෙලී පළමුව අමෙරිකාවේ අභ්‍යන්තර ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළේ ය. පසුව ඔහු කාර්ය මණ්ඩල ප්‍රධානී ධූරයට පත්වුණේ, එවකට ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ රෙයින්ස් ප්‍රීබස් ඉල්ලා අස්වීමත් සමගයි. කෙසේ වෙතත් ජෝන් කෙලී සිය ධූර කාලය තුළ ආන්දෝලනාත්මක තීන්දු රැසක් ගනු ලැබුවේ ය. එහෙත් පසුව අමෙරිකානු ජනාධිපතිවරයා සමග මත ගැටුම් ඇතිවූයේ දෙදෙනා පරස්පර අදහස් දැරීම හේතුවෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ජෝන් කෙලී, අමෙරිකානු ජනපතිගේ ක්‍රියාකලාපය හේතුවෙන් දැඩි පීඩනයකට ලක් ව සිටි බව ද විදෙස් මාධ්‍ය පවසයි. කෙසේ වෙතත් ජෝන් කෙලී ඉල්ලා අස්වන බව නිල වශයෙන් නිවේදනය කරමින් ජනපති ට්‍රම්ප් සඳහන් කළේ, ඔහු වසර දෙකක කාලයක් කළ සේවයට තමා ගරු කරන බවයි.