ඉදිරි වසරට බාධාවකින් තොරව මුදල් නිකුත් කළ හැකියි

ඉදිරි වසර සඳහා බාධාවකින් තොරව මුදල් නිකුත් කළ හැකියි - මුදල් අමාත්‍යාංශය

by Staff writer 09-12-2018 | 11:40 AM

COLOMBO (News 1st) - ඉදිරි වසර සඳහා බාධාවකින් තොරව මුදල් නිකුත් කිරීමට හැකියාව පවතින බව මුදල් අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම්. එස්. ආර්. ආටිගල මහතා පැවසුවේ, නීතිමය ප්‍රතිපාදනවලට යටත්ව මාස තුනක් සඳහා මුදල් නිකුත් කිරීමට හැකියාව පවතින බවය. ආයතන මට්ටමින් එදිනෙදා කටයුතු පවත්වාගෙන යාම සඳහා එලෙස මුදල් වෙන් කිරීමට කටයුතු කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය. ලේකම්වරයා පැවසුවේ, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය ක්‍රියාත්මක වන්නේ නම් වියදම් සඳහා මුදල් නිකුත් කිරීමට ජනාධිපතිතුමා මගින් අතුරු සම්මත ගිණුමක් යටතේ අවස්ථාව හිමිවන බවය. ඒ අනුව, එම අතුරු සම්මත ගිණුම මාස 3 ක කාලයකට බලපැවැත්වෙනු ඇති. එසේ නොවී මේ වන විට කැබිනට් අනුමැතිය හිමි ව ඇති අතුරු සම්මත ගිණුම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය හිමි වන්නේ නම් මාස 4ක කාලයක් සඳහා එය වලංගු වන බව ද ඔහු පැවසීය. එස්. ආර්. ආටිගල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති ඉදිරියට කරගෙන යාමට මුදල් ලබාදීමට කිසිදු බාධාවක් නොමැති බවයි.