වසර තුළ විදෙස්ගත ලාංකික ශ්‍රමිකයින් 222 ක් මරුට...

වසරේ ගත වූ කාලය තුළ විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 222 දෙදෙනෙකු මරුට

by Hashini De Mel 08-12-2018 | 7:08 AM

COLOMBO (News 1st) - විදේශ රැකියා සඳහා ගිය ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 222 දෙදෙනෙකු වසරේ මේ දක්වා කාලය තුළ මියගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මාධව දේශප්‍රිය මහතා සඳහන් කළේ, ඉන් වැඩිම පිරිසක් සෞදි අරාබියේදී ජීවිතක්ෂයට පත් ව ඇති බවය. එම සංඛ්‍යාව 70 කි. කුවේට් හා කටාර් රාජ්‍යයේ ද ශ්‍රී ලාංකිකයින් වැඩි පිරිසක් මියගිය රටවල් අතරට අයත් වේ. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කළේ, ඝාතනය කිරීම්, රිය අනතුරු, හදිසි අනතුරු, සියදිවි නසා ගැනීම් මෙන් ම විවිධ ලෙඩ රෝග හේතුවෙන් මෙම පිරිස මිය ගොස් ඇති බවයි. ඔවුන් වෙනුවෙන් අදාළ රටවල රැකියා ඒජන්තවරුන් සම්බන්ධ කර ගනිමින් වන්දි ලබාදීමට පියවර ගෙන ඇති අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූ පිරිස වෙනුවෙන් රුපියල් ලක්ෂ 05 ක උපරිමයකට යටත්ව වන්දි ලබාදීමට පියවර ගත් බව ද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ ය. මේ අතර විදේශවලදී සිදු වූ විවිධ අනතුරු හා වද හිංසා හේතුවෙන් තව ත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිරිසක් ආබාධිත තත්ත්වයට පත් ව ඇති බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ය.