"පාර්ලිමේන්තුවේ සිදුවීම්වලට කථානායක වගකියන්න ඕන"

පාර්ලිමේන්තුවේ වුණ සිදුවීම්වලට කථානායක වගකියන්න ඕන - මහින්ද රාජපක්ෂ

by Staff writer 08-12-2018 | 8:45 PM
COLOMBO (News 1st) - මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන කොට්ටාව රුක්මල්ගම ශ්‍රී ධර්මවිජයාවලෝක මහා විහාරයට ගොස් ආශිර්වාද ලබා ගත්තේ ය. අද පෙරවරුවේ මහින්ද රාජපක්ෂ මහතා කොට්ටාව රුක්මල්ගම ශ්‍රී ධර්මවිජයාවලෝක මහා විහාරයට පැමිණියේ ය. අනතුරුව ශ්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ශවයේ කල්‍යාණි සාමග්‍රී සංඝ සභාවේ අති පූජ්‍ය මහා නායක ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය. එහිදී ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් මහින්ද රාජපක්ෂ මහතා හමුවේ පැවසුවේ, පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ සිදු වූ සිදුවීම් අනුමත කළ නොහැකි බව ය. ඊට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ, පාර්ලිමේන්තුවේ සිදු වූ සිදුවීම්වලට කථානායකවරයා මූලිකව වගකිව යුතු බව ය. මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණි ලොකුගේ, තිලංග සුමතිපාල, සුසිල් ප්‍රේමජයන්ත, බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිසක් එක්ව සිටියහ. අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා පිළියන්දල ස්වාරපල ශ්‍රී බුද්ධාලෝක විහාරයේ වැඩවසන ශ්‍යාමෝපාලි මහා නිකායේ ඌව ශ්‍යාමවාංෂික පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය අඹේවල පඤ්ඤාසාර නායක ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය.