හමාස් සංවිධානය හෙළා දැකීමේ යෝජනාව ඉවතට

හමාස් සංවිධානය හෙළා දැකීමේ යෝජනාවට ශ්‍රී ලංකාව ඡන්දය දීමෙන් වැළකෙයි

by Staff writer 07-12-2018 | 10:00 PM
(News 1st) - අමෙරිකාව විසින් ඉදිරිපත් කළ හමාස් සංවිධානය හෙළා දැකීමේ යෝජනාව, එක්සත් ජාතීන්ගේ සංවිධාන මහා සැසිවාරයේදී ප්‍රතික්ෂේප වී තිබේ. හමාස් සංවිධානය හෙළා දැකීමේ යෝජනාව සම්මත වීමට ඊයේ දිනයේදී පැවැත්වූ රැස්වීමේදී 2/3 ක ඡන්දයක් ලැබිය යුතුව තිබිණි. එහෙත් රටවල් 86ක් යෝජනාවට පක්ෂව ද, රටවල් 57ක් විපක්ෂව ද සහ රටවල් 33ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීම හමුවේ අදාළ යෝජනාව සම්මත නොවීය. විදෙස් වාර්තා පැවසුවේ, එලෙස ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි රටවල් අතරට ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, කෙන්යාව, නේපාලය, පිලිපීනය සහ තායිලන්තය ඇතුළත් වන බව ය. මෙලෙස අදාළ යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටීම පිළිබඳව නිව්ස්ෆස්ට් විදේශ කටයුතු අමාත්‍යංශයෙන් විමසා සිටි අතර මෙතෙක් ඊට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැත.