"19වන සංශෝධනයේ දුර්වලතා සංශෝධනයට කැප වී සිටිනවා"

"19 වන සංශෝධනයේ දුර්වලතා සංශෝධනයට කැප වී සිටිනවා" - ජනපති

by Staff writer 06-12-2018 | 6:16 PM
News 1st (COLOMBO) : 19 වන සංශෝධනයේ කාර්යමය දුර්වලතා තිබේ නම් දේශපාලන වශයෙන් ගැටලුසහගත වන්නා වූ කරුණුවලට අදාළ සංශෝධන පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග අනුව සිදු කිරීමට කැප වී සිටින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා, සඳහන් කරන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 සංශෝධනයේ හරය සහ ඉන් ඇති කරනු ලැබු ප්‍රජාතන්ත්‍රවාදී සාරය ආරක්ෂා කර ගනිමින් එය තවදුරටත් පෝෂණය කරන බවයි. ඉන් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ව්‍යුහය ශක්තිමත් කිරීම ඇතුළු සාධනීය ප්‍රතිඵල රැසක් මෙරට සමාජයට ලැබී ඇති බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි. එය ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනතාව ලැබූ ජයග්‍රහණයක් වන අතර අප මාතෘ භූමිය නූතන යුගයකට ගෙනයාම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් බව ද ජනාධිපතිවරයා පවසයි. එම නිවේදනයෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය සම්මත කර ගන්නා ලද්දේ දශක තුනක් තිස්සේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් පැවති ගැටලුකාරී තත්ත්වය විසඳීම සඳහා බවයි.