බේරුවලින් සොයා ගත් කුඩු රටට ආවේ පකිස්ථානයෙන් ද?

මෙරටදී සොයා ගත් දෙවන විශාලතම හෙරොයින් තොගය බේරුවල මුහුදේදී පොලිස්භාරට

by Staff writer 06-12-2018 | 4:39 PM
COLOMBO (News 1st) : මෙරටදී සොයා ගත් දෙවන විශාලතම හෙරොයින් තොගය බේරුවලට ආසන්න මුහුදේදී පොලීසිය භාරයට ගැනිණි. රුපියල් මිලියන 2700 කට අධික වීදියේ වටිනාකමක් ඇති හෙරොයින් තොගයක් අද අලුයම ඒකාබද්ධ මෙහෙයුමකින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සොයා ගත්තේ ය. බේරුවල හා බලපිටිය අතර මුහුදේදී සොයා ගත් මෙම හෙරොයින් තොගයේ බර කිලෝග්රෑම් 231 යි ග්රෑම් 54කි. පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය තොගය පාකිස්ථානයේදී ඇසුරුම්කර ඇතැයි සැක කළ හැකි බවයි . සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් දින 7 ක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන බව පොලීසිය පැවසී ය. වැටලීම් සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන්ට පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ නාවික හමුදාවේ සහය ද ලැබී තිබිණ. නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම් නතර කිරීම සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා පසුගියදා පොලිසියේ ප්‍රධානීන් කැඳවා නියෝග කළේ ය. ඉන් නොනැවතුන ජනාධිපතිවරයා මාස තුනක මත්ද්‍රව්‍ය වැටලීම් පිළිබඳව වාර්තාවක් කැඳවීමට ද පියවර ගත්තේ ය. මීට පෙර අවස්ථා ගණනාවකදී ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගැන කරුණු අවධාරණය කළ අතර පොලීසිය ද ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කළේ ය. පසුගිය ජුලි මාසයේ ජනාධිපතිවරයා කැබිනට් පත්‍රිකාවක් පවා ඉදිරිපත් කර තිබිණ. කවුරුන් මේ අපරාධ පිටුපස සිටියත් දිනපතා මේවා භාවිත කිරීම නිසා විනාශ වෙමින් යන්නේ රටේ මානව සම්පතයි. තරුණ ජීවිත විනාශ කරමින් ටොන් ගනනින් මත්ද්‍රව්‍ය බෙදා හරින පුද්ගලයින්ට නිසි ක්‍රියාමාර්ග ගෙන රටේ අනාගතය සුරක්ෂිත කළ යුතු නොවේද?