by Sagarika Chathumali 06-12-2018 | 5:08 PM
COLOMBO (News 1st) : පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් පසුගිය 9 වන දා නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවමින් නිකුත් කර තිබු අතුරු තහනම් නියෝගය අනිද්දා දක්වා දිර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද පස්වරුවේ නියෝග කළේ ය.
අගවිනිසුරු නලීන් පෙරේරා මහතා ප්රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේ, එම ගැසට් නිවේදනයට එරෙහිව ගොනු කර තිබු පෙත්සම් සම්බන්ධයෙන් විභාගය සිව් වන දිනටත් හෙට දිනයේ යළි පැවැත්වීමටයි.
එම ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් එක්සත් ජාතික පක්ෂය, ද්‍රවිඩ එක්සත් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන කිහිපයක් විසින් ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලූ අගවිනිසුරුවරයා ප්රමුඛ විනිසුරු මඩුල්ලක් විසින් පසුගිය 13 වන දා අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබු අතර එම අතුරු තහනම් නියෝගය හෙට දක්වා බල පැවැත්වෙන පරිදි නිකුත් කිරීමට ද විනිසුරු මඩුල්ල නියෝග කර තිබිණ.
ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබු පෙත්සම්වල අතරමැදි පාර්ශ්වකරුවන් ලෙස ඉදිරිපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඇතුළු පෙත්සම්කරුවන් 5 දෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අද දිනයේ විනිසුරු මඩුල්ල හමුවේ කරුණු දක්වනු ලැබීය.
එහිදී ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ -මාර්ග නීතිය රැකීමට ගියහොත් ලෙඩා මැරෙනවා- එම නිසා ලෙඩාට අසාධ්‍ය නම් මාර්ග නීති නොතකා රිය පැදවීමේ අයිතිය ගිලන් රථ රියැදුරෙකුට ඇති බවයි.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත්තේ ද පැවති ගැටුම්කාරී තත්ත්වය අවම කර ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය සුරක්ෂිත කිරිමේ අරමුණින් බව ජනාධිපති නීතිඥවරයා එහිදී ප්‍රකාශ කළේ ය.
ජනාධිපතිවරයාගේ එම ක්‍රියා කලාපය වැරදි බවට නිගමනය කර පාර්ලිමේන්තුව විසින් ගැසට් නිවේදනය බල රහිත කළ හොත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට සිදුවනුයේ යළි පාර්ලිමේන්තුව රැස් කර එය විසුරුවා හරින ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමයි.
පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කර ඇති කුමන අවස්ථාවකදී හෝ එය විසුරුවා හැර මහ මැතිවරණයක් කැදවීමේ බලය ජනාධිපතිවරයාට තිබෙන බව ද අතරමැදි පෙත්සම්කරුවෙකු වන මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේ ය.
එහිදී අතරමැදි පාර්ශ්වකරුවෙකු වන මහාචාර්ය ජගත් වැල්ලවත්තගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කරුණු දක්වමින් මෙවැනිම ගැටුම්කාරි තත්ත්වයක් ඉන්දීය පාර්ලිමේන්තුව තුළ ඇති වු බවත් එරට සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ව යෝජනාවක් සම්මත කර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් එකී ගැටුම්කාරී තත්ත්වය නිම කර ගැනීමට හැකි වූ බවත් එහිදී අධිකරණයට පෙන්වා දුන්නේ ය.
මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙසට පෙත්සම්කරුවන් කළ ඉල්ලීමට ඉඩ ලබාදුනහොත්, රට ආරාජික තත්ත්වයකට පත්වීමේ දැඩි අවදානමක් පවතින බව ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ය.
අයවැය ඉදිරිපත් කිරීමට නොහැකිවී එවැනි අරාජික තත්ත්වයකට රට පත්වීමට ඉඩ නොදී පනවා ඇති අතුරු තහනම් නියෝගය විසුරුවා හැර තමන්ට කැමති පිරිසක් ඡන්දයෙන් තෝරා පත්කර ගැනීමට අවශ්‍ය පරිසරය උදාකර දීම ශ්‍රේෂ්ඨාධිකරණයේ වගකීම හා යුතුකම බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා එහිදී පෙන්වා දුන්නේ ය.
ඔහු ප්‍රකාශ කළේ, අධිකරණය ක්‍රියා කළ යුත්තේ අධිකරණය සතු සීමාව තුළ සිට පවතින නීතිරිතීවලට එකඟව බවයි.
නීතියේ කුමන තත්ත්වයක් සඳහන්ව තිබුණ ද රටේ පවතින දේශපාලන තත්ත්වය සලකා සුබදායි තීරණයක් ලබාදීම අධිකරණයක් මගින් ජනතාව අපේක්ෂා කරන ක්‍රියාදාමය බව ද ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළේ ය.
ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල පෙත්සම්කරුවන්ට අවශ්‍ය වී ඇත්තේ රට අරාජික තත්ත්වයට පත් කර විදේශීය බලවේගවලට අප රටේ කටයුතුවලට අයුතු ලෙස මැදිහත්වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම බව ද ජනාධිපති නීතිඥවරයා එහිදී පෙන්වා දුන්නේ ය.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත්තේ එවැනි අරාජික තත්ත්වයකින් රට ගලවා ගැනීම සඳහා බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ( 2) ව්‍යවස්ථාව යටතේ නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ බලය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කළ සම්පාදකයින් විසින්ම ජනාධිපතිවරයාට හිමිකර දී ඇති බව ද එහිදී පෙන්වා දුන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා වර්තමාන පාර්ලිමේන්තුවේ සංයුතිය දෙස බැලීමේදී කිසිදු පක්ෂයකට හෝ සන්ධානයකට පැහැදිලි බහුතර ජනමතයක් ලැබී නොමැති බව පෙනෙන්නේ යැයි ද ප්‍රකාශ කළේ ය.
එබැවින් රටට හිතැති ජනතාව අධිකරණයෙන් අපේක්ෂා කරනුයේ බහුතර ජනමතයක් දිනාගෙන ශක්තිමක් රජයක් පිහිටුවීම සඳහා වරමක් ඉල්ලා සිටීමක් බව එහිදී පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ රජයට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනා දෙකක් සම්මත කර ඇති බව ප්‍රකාශ කළ ත්, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් විශ්වාසය තහවුරු කිරීමක් කර නොමැති බව ද පෙන්වා දුන්නේ ය.
එමෙන්ම මෙම පෙත්සම් විභාග කිරීමට අධිකරණයට නීතිමය බලයක් නොමැති බවට නීතිපතිවරයා විසින් ඊයේ දිනයේ දැක්වූ නීතිමය කරුණ සම්බන්ධයෙන් තමන් ද එකඟ බව ජනාධිපති නීතිඥවරයා එහිදී ප්‍රකාශ කළේ ය.
එබැවින් පෙත්සම්කරුවන් ඉල්ලා සිටින සහන ලබානොදී පෙත්සම්කරුගේ නීතිඥවරුන් කළ කරුණු දැක්වීම සලකා පසුගිය 13 වන දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය විසුරුවා හරින ලෙස ද අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
වැඩිදුර පෙත්සම් විභාගය හෙට සිදු කිරීමට නියමිතයි.
https://www.youtube.com/watch?v=b96r6UXdz7c