පාර්ලිමේන්තුව විසුරුවීම අභියෝගයට ලක් කළ පෙත්සම් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නැතැයි, නීතිපතිගෙන් තර්කයක්

by Staff writer 05-12-2018 | 7:59 PM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණමය හෝ තීන්දු තීරණ ගැනීමේ බලයක් නැතැයි නීතිපති ජයන්ත ජයසුරිය මහතා අද ප්‍රකාශ කළේ ය.

අද මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි සලකා බැලූ අවස්ථාවේ නීතිපතිවරයා සහ තව ත් පාර්ශව කිහිපයක් කරුණු දැක්විය. ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ අද සළකා බැලුනේ දෙවැනි දිනටයි. රාජ්‍ය නායකයා ලෙස තමාට හිමි බලතළ ප්‍රකාරව ජනාධිපතිවරයා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බැවින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ සම්බන්ධයෙන් තීරණගත නොහැකි බව නීතිපති ජයන්ත ජයසූරිය මහතා එහිදී පෙන්වා දුන්නේ ය. ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ, පෙත්සම්කරුවන්ට ගැසට් නිවේදනයේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කිරීමට කිසිදු නීත්‍යානූකූල පදනමක් නොමැති බැවින් පෙත්සම් විභාගයට නොගෙන ඉවත දමන ලෙසයි. ජනාධිපතිවරයා, රාජ්‍ය නායකයා මෙන්ම දේශපාලනඥයෙකු ලෙස ද ක්‍රියා කරමින් තීන්දු ගෙන ඇති පසුබිමක ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් එම ක්‍රියාකාරිත්වයට මැදිහත්වීම යෝග්‍ය දැයි නීතිපතිවරයා විමසුවේ ය. ඔහු සඳහන් කළේ, මුලික අයිතිවාසිකම් පෙත්සම් තුළින් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බවට චෝදනා කර ඇති බවයි. නීතිපතිවරයාගේ තර්කය වූයේ එවැනි තත්ත්වයකදී කළයුතු වන්නේ පාර්ලිමේන්තුවේ දෝෂාභියෝග යෝජනාවක් සම්මත කර එම යෝජනාව හරහා ජනාධිපතිවරයාට එල්ල කර ඇති චෝදනා විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කිරීම බවයි. එම ක්‍රියාදාමයෙන් බැහැරව ජනාධිපතිවරයාගේ ක්‍රියාවලිය අභියෝගයට ලක්කරමින් මුලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බව ජයන්ත ජයසූරිය මහතා කියා සිටියේ ය. නීතිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගගත හැක්කේ පාර්ලිමේන්තුව තුළින් පමණක් බවයි. ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් යම් නියෝගයක් කර ඇත්නම් ව්‍යවස්ථාවේ 38 වන වගන්තිය අනුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒ සම්බන්ධයෙන් අර්ථ නිරූපනයක් ඉල්ලා සිටීමට කථානායකවරයාට හැකි බව ද ඔහු පැවසුවේ ය. අතරමැදි පාර්ශව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කියා සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ වගන්ති සියල්ල එක්කර සලකා බැලුවත් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකියාව ඇති බවයි. ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි හා සිංහල පිටපත්වල දෝෂ ඇති අවස්ථාවලදී අදාළ වන්නේ සිංහල පිටපත බව ද නීතිඥවරයා සඳහන් කළේ ය.