පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහි පෙත්සම් විභාගය අදත්

පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහි පෙත්සම් විභාගය අද දෙවැනි දිනටත්

by Staff writer 05-12-2018 | 7:27 AM
COLOMBO (News 1st) - ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධ විභාගය අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද දෙවැනි දිනටත් සිදු කෙරේ. ඊයේ දිනයේ පෙත්සම්කාර පාර්ශවය නියෝජනය කරමින් පෙනී සිටි  කනක ඊශ්වරම්,  තිලක් මාරපන, ජයම්පති වික්‍රමරත්න යන ජනාධිපති නීතිඥවරු හා විරාන් කොරයා මහතා ඊයේ අධිකරණය හමුවේදී දීර්ඝ ලෙස කරුණු දැක්වූහ. පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට පෙන්වා දුන්නේ, පසුගිය 09 වන දා මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුව හරිමින් ජනාධිපතිවරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයේ 70 (1) අනු ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවී ඇත්තේ, සුවිශේෂී අවස්ථාවකදී බවත්, එනම්, රටේ බලවත් ව්‍යසනයක්, කැරළි කෝලහාල ඇතුළු සාමාන්‍ය ජන ජීවිතයට පීඩා වන අන්දමේ අවස්ථාවකදී බව නීතිඥවරු පෙන්වා දුන්හ. එසේ නොමැති නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් බහුතර කැමැත්ත නොමැතිව එය විසුරුවා හැරීමේ බලයක් නොමැති බව පෙත්සම්කරුවන්ගේ නීතිඥයෝ අධිකරණය හමුවේ පැවසූහ. ජනාධිපතිතුමාගේ එකී අත්තනෝමතික, ඒකාධිපති ක්‍රියා කලාපය නිසා රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පෙන්වා දුන් පෙත්සම්කරුවන්ගේ නීතිඥයෝ විධායකය හා ව්‍යවස්ථාදායකය ජනතාවගේ පරමාධිපත්‍ය සුරැකීමේ වගකීම පැහැර හැර ව්‍යවස්ථා විරෝධී ලෙස කටයුතු කරන්නේ නම් එය සුරැකීමේ වගකීම අධිකරණයට ඇතැයි ද පෙන්වා දුන්හ. මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම්වලට අතරමැදි පාර්ශවකරුවන් ලෙස මැදිහත් වීමට අවසර ඉල්ලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නීතිඥවරුන් වන මන්ත්‍රීවරුන් 10 දෙනෙක් අධිකරණයෙන් අවසර ඉල්ලා ඊයේ අතරමැදි පෙත්සම් ගොනු කළහ. ඊට අනුර ප්‍රියදර්ශන යාපා, පවිත්‍රා වන්නිආරච්චි, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, ප්‍රියානි විජේවික්‍රම, සිසිර ජයකොඩි, චන්ද්‍රසිරි ගජධීර, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, ඩිලාන් පෙරේරා, අනුරුද්ධ ජයරත්න සහ චන්දිම වීරක්කොඩි යන මන්ත්‍රීවරුන් අයත් ය.