පාර්ලිමේන්තුව අද පෙරවරු 10.30ට රැස්වේ

පාර්ලිමේන්තුව අද පෙරවරු 10.30ට රැස්වේ

by Staff writer 05-12-2018 | 7:14 AM
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව අද පෙරවරු 10.30ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වේ. අද පාර්ලිමේන්තුවේදී පසුගිය 14 වන දාත් 16 වන දාත් සම්මත වූ විශ්වාසභංග යෝජනාවට අනුව ආණ්ඩුව විසිරී ඇති බැවින් ඉදිරියේදී ඊට අනුකූලව පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින යෝජනාවක් සාකච්ඡාවට ගැනීමට නියමිත බව අප පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළේ ය. මේ අතර ඊයේ පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේ, අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය හා පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ පවතින ස්ථාවර නියෝග මත, මෙතෙක් පාර්ලිමේන්තුව ගත් සෑම පියවරක්ම ගෙන ඇති බව ය. කිසිවෙකු මෙම ක්‍රියා පටිපාටිය අනුමත නොකරන්නේ නම් තමාට හා පාර්ලිමේන්තුවට අපහාස කිරීම වෙනුවට නීත්‍යානුකූල හා ප්‍රජාතන්ත්‍රවාදීව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර තමා ඉවත් කළ යුතු බව මෙම නිවේදනයෙන් පෙන්වා දෙයි. කරු ජයසූරිය මහතා පෙන්වා දෙන්නේ, මීළඟ පාර්ලිමේන්තු දිනයෙන් පසු ප්‍රචණ්ඩත්වයෙන් තොරව පාර්ලිමේන්තුව යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා සියලු පක්ෂ නායකයින් වගකීමෙන් ක්‍රියා කළ යුතු බව ය. කෙසේ වෙතත් විශ්වාසභංග යෝජනාව හා පසුගිය දිනවල අනෙකුත් යෝජනා සම්මත කර ගැනීමේදී කථානායකවරයා අනුගමනය කළ ක්‍රියාකලාපය පිළිබඳව බරපතල විවේචන එල්ල වී තිබේ. විධිමත් ක්‍රමය අනුගමනය නොකර හඬ අනුව විශ්වාසභංගය සම්මත වූ බවට නිවේදනය කිරීම ඒ අතරින් ප්‍රධාන විවේචනයකි. එවන් පසුබිමක අදත් පාර්ලිමේන්තු සභාවට යාම ප්‍රතික්ෂේප කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ පෙරවරුවේම තීරණය කළේ ය.