ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයට

පසුගිය වසරේ දේශගුණ ආපදාවලින් වැඩිම බලපෑමක් එල්ල වූ රටවල් අතර ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයට

by Staff writer 05-12-2018 | 1:42 PM
COLOMBO (News 1st) - 2019 ගෝලීය දේශගුණික අවදානම් දර්ශකය අනුව 2017 වසරේදී දේශගුණික ආපදාවන්ගෙන් වැඩිම බලපෑමක් එල්ල වූ රටවල් අතර ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයට පත්ව තිබේ. 2019 ගෝලීය දේශගුණික අවදානම් දර්ශකය එළිදක්වනු ලැබුවේ, පෝලන්තයේ පැවැත්වෙන කෝප් 24 එක්සත් ජාතීන්ගේ පාරිසරික සමුළුවේදී ය. එම දර්ශකයට අනුව දේශගුණික විපත් හේතුවෙන් 2017 වසරේදී වැඩිම බලපෑමක් එල්ල වී ඇති රට වන්නේ, පෝටරිකෝ රාජ්‍යයයි. එම දර්ශකයේ තුන්වැනි ස්ථානය ඩොමිනිකා රාජ්‍යයට හිමිව තිබේ. ජර්මන් වොච් නමැති සංවිධානය නිකුත් කරන 2019 ගෝලීය දේශගුණික අවදානම් දර්ශකය අනුව 2017 වසරේදී මෙරට ස්වභාවික විපත් හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 246 කි. 2017 වසරේ මැයි මාසයේදී ශ්‍රී ලංකාවට බලපෑ මෝසම් වැසි, ජල ගැලීම් හා නාය යෑම් අදාළ පුද්ගල මරණවලට හේතු වී තිබේ. මේ හේතුවෙන් අවතැන් වී ඇති පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 6කට අධික ය. ඉන් වැඩිම බලපෑමක් රත්නපුර දිස්ත්‍රික්කයට එල්ල වී ඇති අතර එම දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 20000ක් මෝසම් වාර්ෂාවෙන් අවතැන් වී ඇති බව අදාළ වාර්තාවේ දැක්වේ.