"රනිල් පසුපෙළ කිසිවෙකුට හිස එසවීමට ඉඩ දෙන්නේ නැහැ"

"පක්ෂය තුළ නැති ප්‍රජාතන්ත්‍රවාදයක් රට තුළ ඇති කිරීමට රනිල්ට හැකියාවක් නැහැ" - ජනපති

by Sagarika Chathumali 05-12-2018 | 5:22 PM
COLOMBO (News 1st) : පක්ෂය තුළ නැති ප්‍රජාතන්ත්‍රවාදයක් රට තුළ ඇති කිරීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාවක් නැතැයි, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, එක්සත් ජාතික පක්ෂයේ නායකයාව සිටින රනිල් වික්‍රමසිංහ මහතා එහි පසු පෙළ කිසිවෙකුට හිස එසවීමට ඉඩ නොදෙන බවයි. රටේ නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඉහළින් කථාකරන වික්‍රමසිංහ මහතා පළමුව තම පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී කරගතයුතු බව ද, ජනාධිපතිවරටා අවධාරණය කරයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ, අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ය. නිලධාරීන් පිරිසක් සමග අද පෙරවරුවේ පැවති මෙම සාකච්ඡාවේදී රටේ සංවර්ධන ක්‍රියාදාමය සහ මහජන සේවාවන් අඩපණ නොවී පවත්වා ගැනීම සඳහා උපදෙස් ලබා දී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මූල්‍ය වර්ෂය සඳහා වෙන් කර තිබෙන, සියලු මුදල් නිසි පරිදි වැය කරමින්, ජනතා අවශ්‍යතා උපරිමයෙන් ඉටු කරන ලෙසට ද මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දුන් බවයි.